හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේදී සිරුරට ගිනි ඇවිලී මිය ගිය බව කියන 16 හැවිරිදි දැරිය නවාතැන්ගෙන සිටි කුඩා කාමරයේ බිත්තියක ලියා තිබූ වැකියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.

දෙමළ අදහසක් ඇති ඉංග්‍රීසියෙන් ලියූ මෙම වැකියේ සදහන් වූයේ එන් සාවුක්කු කාරනම් හෙවත් මගේ මරණයට හේතුව යන්නයි. මෙම වැකිය මිය ගිය දැරිය විසින්ම ලියන ලද්දක් ද යන්න සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ අත්අකුරු පිළිබද විශේෂඥයින් විසින් ඊයේ පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

එමෙන්ම එහි ඡායාරූපයක් ගෙන එය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට කටයුතු කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

ඊට අමතරව විමර්ශන නිලධාරීන්ට මෙම දැරිය පාසල් කාලයේ භාවිත කළ පොත් කිහිපයක් හමුවී තිබෙනවා.

ඒ අනුව මෙම වැකිය ඇය විසින් ලියන ලද්දක් ද යන්න සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ.

මේ අතර, මෙම සිද්ධියට අදාළව ඊයේ මාළඹේ – පිට්ටුගල ප්‍රදේශයේ රැදී සිටි පුද්ගලයෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

ඒ අනුව ඊයේ තවත් පොලිස් කණ්ඩායමක් මාළඹේ – පිට්ටුගල ප්‍රදේශයට ගොස් අදාළ පුද්ගලයාගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බවයි පොලීසිය සදහන් කළේ. මොහු අවන්හලක සේවය කරන බවටයි වාර්තා වන්නේ.