අද දින රජය සතු පුවත්පත්වල ප්‍රධාන ශීර්ෂ පාඨයන්හි දැක්වෙන්නේ පළාත් පාලන මැතිවරණය පිළිබඳව මැතිවරණ කොමිසමේ සාමාජිකයන් විවිධ මතවල සිටින බැවින් නීතිපතිගේ උපදෙස් විමසිය යුතු බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කොට ඇති බවයි,



ජනාධිපතිවරයාට එවැනි බලතලයක් තිබෙන බව හෝ මැතිරණයක් ප්‍රකාශයට පත්කොට ඇති අවස්ථාවක මැතිවරණ කොමිසම කැඳවීමට සදාචාරාත්මක අයිතියක් නොමැති බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දෙස බැලීමේදී පෙනී යයි.

මැතිවරණ කොමිසමේ සාමාජිකයන් අතර යම් බෙදුණු මතයක් ඇත්නම් ගත හැකි ක්‍රියාමාර්ග ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 (අ ) වගන්තියේ දැක්වේ.

‘’කොමිෂන් සභාවේ තීරණ ඒ ඒ  රැස්වීමට පැමිණ ඡන්දය දෙන්නාවූ සාමාජිකයන්ගේ බහුතර ඡන්දයෙන් ගනු ලැබිය යුතු අතර යම් විටක සමසමව ඡන්දය ලැබුන හොත් ඒ රැස්වීමේ සභාපතිවරයාට තීරක ඡන්දයක් හිමි වේ ‘’

ව්‍යවස්ථාව පැහැදිලිය, එයට බලපෑම් කිරීමට ජනාධිපතිවරයාට අයිතියක් නැත, මන්ද ඔහු ද දේශපාලන පක්ෂයක නායකයෙකු බැවින් එය ළබැඳියාව අතර ගැටුමක් වන බැවිනි.

සියලුම පළාත් පාලන මැතිවරණ මේ වන විට පවතින්නේ කාලය වසරකින් දීර්ඝ කිරීමෙන් අනතුරුවය. පවත්නා නීතිමය තත්ත්වය අනුව මාර්තු මස 20 වන විට නව පළාත් පාලන ආයතන අනිවාර්යෙන් ස්ථාපිත කිරීමට සිදුවේ. ගිය වසරේ අයවැයෙන් පළාත් පාලන මැතිවරණයට අවශ්‍ය මුදල් වෙන් කොට ඇත. අධිකරණ ක්‍රියාමාර්ගයක දී රජයට මැතිවරණයක් පැවැත්වීමට මුදල් නොමැති බව පවසා ඡන්දය කල් දැමීමෙන් ශ්‍රී ලංකාව තුළ ‍අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් නොමැති බව ජාත්‍යන්තරයට පෙනී යනු ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ලංකාවට සහය වීමට සිටින රටවල් වලට ද මේ තත්ත්වය මැතිවරණයට මුහුණ දීමට භය දේශපාලන ස්ථාවරත්වයක් නැති රජයක් ලෙස වර්තමාන රජය පිළිගැනීමට ලක් වීමට ඉඩ ඇත.

මේ තත්ත්වය අපට සිහිකරන්නේ ජනාධිපතිවරයා ගේ මාමා වූ ජේ ආර් ජයවර්ධන මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් දින රහිත ඉල්ලා අස්වීමේ ලිපි ලබාගත්, මහමැතිවරණ නොපවත්වා ජනමත විචාරයකින් වසර හයකින් පාර්ලිමේන්තු කාලය දික් කරගත් අතීතයයි.

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් ද වගකීම් විරහිතව කටයුතු කරන්නේ නම් එම තත්ත්වය ඔප්පු කරන්නේ තවදුරටත් කොමිෂන් සභා කිසිවක් පිළිබඳ ජනතාවට විශ්වාසයක් තබා ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවයි .