ජාතික සංහිදියාව වෙනුවෙන් වැඩ පිළිවෙලක් සකස් කර ගැනීම සඳහා යැයි පවසමින් ජනාධිපතිවරයා

සමග ආරම්භ කළ සාකච්ඡාවේ කිසිදු ප්‍රගතියක් නැතිවීම ගැන ඊට මහත් උනන්දුවෙන් සහභාගී වූ දෙමළ ජනතා නියෝජිතයකු විසින් හෙළි කර තිබේ.

උතුරු නැගෙනහිර වැඩිම නියෝජනයක් සහිත දෙමළ පක්ෂය රජය සමග සාකච්ඡා ආරම්භ කර ඇත්තේ එම දෙපළාත ඒකාබද්ධ කර ෆෙඩරල් පාලනයක් ඉල්ලා සිටින විරෝධතා මාලාවක් දියත් වෙද්දීය.


“අපි ගිය සැරේ හම්බඋනාට පස්සේ වහාම පියවර ගතයුතු ප්‍රශ්න තුනක් ගැන අවධාරණය කළා. දේශපාලන  සිරකරුවන්ගේ නිදහස, ඉඩම් කොල්ලය සහ බලහත්කාරයෙන් අතුරුදහන් කළ අය ගැන. ආණ්ඩුව පොරොන්දු දුන්නත් එතන මොකවත් වෙලා නෑ. ඒක කනගාටුවට කාරනාවක්.” දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් ඒ බව සදහන් කළේ ජනවාරි 5 වැනිදා ජනාධිපතිවරයා සමග පැවැත්වු සාකච්ඡාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එම සාකච්ඡාවට රජය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අගමැති දිනේෂ් ගුණවර්ධන, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ සහ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා සහභාගී වී ඇති අතර දෙමළ ජාතික සන්ධානයේ  නියෝජිතයන් ලෙස  ඉලංකෙයි තමිල් අරසු කච්චි නායක රාජවරෝදයම් සම්බන්දන්, සෙල්වම් අඩෙයික්කලනාදන්, ධර්මලිංගම් සිද්ධාර්ථන් සහ පා.ම එම්. ඒ සුමන්තිරන් යන මන්ත්‍රීවරුන් සහභාගී වී තිබේ.

දේශපාලන විසඳුමක් ලබාදීම ඇතුළුව ‘ජාතික සංහිඳියාව’ සම්බන්ධයෙන් ගතයුතු පියවර ගැන සාකච්ඡා කිරීමට ජනවාරි 10 දා සිට 13 දක්වා අඛණ්ඩ බහු පාක්ෂික සාකච්ඡා පැවැත්වීමට ජනවාරි  5 වැනිදා මුණගැසී න්‍යාය පත්‍රයක් සකස් කරන බව දෙසැම්බර් මාසයේ පැවැති සාකච්ඡාවෙන් පසු එම් ඒ සුමන්දිරන් මන්ත්‍රීවරයා ජනමාධ්‍ය වෙත පවසා තිබුනි.

එම් ඒ සුමන්දිරන් මන්ත්‍රීවරයා සදහන් කරන පරිදි ජනවාරි 5 වැනිදා පැවැති සාකච්ඡාව තුලදී ජනාධිපතිවරයා දැනුම් දීඇත්තේ දේශපාලන සිරකරුවන්ගේ නිදහස හා ඉඩම් නිදහස් කිරීම සම්බන්ධයෙන් ජනවාරි 10 වැනිදා ආරම්භ වන සාකච්ඡාව තුලදී දැනුම් දෙන බවයි.

” ජනාධිපතිතුමා යාපනයට එනකොට 15 වැනිදා හමුදාවත් එක්ක සාකච්ඡාවක් පවත්වලා ඉඩම් නිදහස ගැන තීරණයක් ගන්නවා කියලත් අපිට කිව්වා,” යි ඔහු වැඩි දුරටත් සදහන් කළේය.

ජනපතිගේ ප්‍රධානත්වයෙන් පැවැති එම සාකච්ඡාව තුලදී දේශපාලන විසදුමක් සම්බන්ධයෙන්ද සාකච්ඡාවට ලක් වු බව සදහන් කරන එම්. ඒ සුමන්තිරන් මන්ත්‍රීවරයා පවසන්නේ 13 වැනි සංශෝධනයෙන් ඉදිරියට ගොස් බලය බෙදීමේ ක්‍රමය අර්ථවත් කිරීම සම්බන්ධයෙන් මෙන්ම දෙමළ ජාතික සන්ධානය ඉල්ලා සිටින ෆෙඩරල් ආකෘතිය සම්බන්ධයෙන් ලබන 10 වැනිදා පැවැත්වෙන සාකච්ඡාව තුලදී තමන් සටහනක් ඉදිරිපත් කිරීමට එකඟ වු බවයි.

එම සාකච්ඡාවේ ප්‍රගතිය අනුව ඉදිරි පියවර ගන්නා බවත් මන්ත්‍රීවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

” ඒකේදී තමයි අපි තිරණය ගන්න ඔනේ මේ සාකච්ඡාව සාර්ථකව යනවද නැද්ද ?  කියලා. අපි ඉදිරියට මේකට සහභාගී වෙනවද, නැද්ද කියලා. අපිට 10 වැනිදට පස්සේ තමයි තීරණය කරන්න වෙන්නේ.”

දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන් කොළඹදී ජනාධිපතිවරයා සමග සාකච්ඡා පවත්වද්දී උතුරු නැගෙනහිර දෙපළාතේ විරෝධතා දියත් කළ උතුරු නැගෙනහිර ඒකාබද්ධ කමිටුව ඉල්ලා සිටියේ දෙමළ ජාතික පක්ෂ ඒකාබද්ධව ක්‍රියා කළ යුතු අතර ඉදිරි මැතිවරණයන්ද එක පෙරමුණකින් තරග වැදිය යුතු බවයි.

දෙමළ ඉල්ලීම් මොනවාද?

# උතුරු, නැගෙනහිර පළාත් ඒකාබද්ධ කර වෙනම පළාත් ඒකකයක් පිහිටුවීම,

# මධ්‍යම රජය විසින් ආපසු පවරා ගත නොහැකි ෆෙඩරල් පාලනයක් ඒකාබද්ධ උතුරු නැගෙනහිර පළාතට ලබාදීම,

# ඒකාබද්ධ උතුරු නැගෙනහිර පළාත් ඒකකයේ පාලනය ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් හරහා ජනතාව විසින් තෝරා පත් කර ගන්නා ලද නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් පවත්වාගෙන යාම හා එහි සියයට පනහක කාන්තා නියෝජනයක් තිබීම,

# උතුරු නැගෙනහිර පළාතේ මායිම් තුළ ඇති සියලුම ඉඩම් වල අයිතිය පළාත සතුවීම,

# උතුරු නැගෙනහිර ප්‍රදේශයේ හමුදාකරණය සම්පූර්ණයෙන් ඉවත් කිරීම සහ එහි ආරක්ෂාව සදහා හමුදාව යෙදවිය යුත්තේ 1983ට පෙර හමුදාව යොදවා තිබු ප්‍රදේශවලට පමණක් වීම,

# උතුරු නැගෙනහිර පළාත්වල දෙමළ ජනතාවගේ ආගමික හා සංස්කෘතික ස්ථාන පුරාවිද්‍යා ස්ථාන ලෙස සලකුණු කර ආක්‍රමණය සහ විනාශය නතර කිරීම මෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ අත්අඩංගුවට ගෙන සිටින සියලුම දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමද විරෝධතා කරුවන්ගේ ඉල්ලීම් අතර ප්‍රධාන වේ.

පළාත් බද වාර්තාකරුවන් පවසන පරිදි උතුරු නැගෙනහිර ඒකාබද්ධ කමිටුව විසින් ඉහත ඉල්ලීම් මුලික කරගනිමින් ජනවාරි 5 වැනිදා යාපනයේ නාවට්කුලි, වව්නියාව, නෙදුන්කේනි, මඩකලපුව ගාන්ධි උද්‍යානය ඉදිරිපිට හා මන්නාරම් නගරයේදී විරෝධතා දියත් කළ අතර ජනවාරි 6 වැනි සිකුරාදා යාපනයේ නාවට්කුලි, වව්නියාව තරනිකුලම්, සහ මන්නාරම් නගරයේදී විරෝධතා දියත් කර තිබේ.

හෙට දිනයේදී ද ඔවුන් විසින් උතුරු නැගෙනහිර දෙපළාතේ ස්ථාන කිහිපයක විරෝධතා පැවැත්වීමට නියමිත බව වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති.