ලෝකයේ උසම ගොඩනැගිල්ල ලෙස කලක් සැලකුණු ඇමරිකාවේ එම්පයර් ස්ටේට් ගොඩනැගිල්ල තරමටම සූවස් ඇළේ සිරවී ඇති එවර්ග්‍රීන් නෞකාව පළල ය. දින ගණනාවක් තිස්සේ සූවස් ඇළේ සියලු ප්‍රවාහන කටයුතු මේ නිසා අඩපණ වී ඇත. ‘ට්‍රැෆික්‘ එකක් හෙවත් මහා තදබදයක් නිර්මාණය වී ඇත.

සූවස් ඇළේ පරිපාලන කටයුතු භාරව සිටින අධිකාරිය (Suez Canal Authority) ට අනුව විපත පටන් ගත්තේ වැලි කුණාටුවක් නිසා ය. වැලි කුණාටුව නිසා හටගත් නාවික සැතපුම් 40ක වේගයෙන් යුක්ත සුළඟ සහ ඉදිරි ජල තීරය නොපෙනීමේ තත්වය හේතුවෙන් මේ එවර්ග්‍රීන් කන්ටේනර් නෞකාව හරස් අතට හැරී තිබේ.

මෙම එවර්ග්‍රීන් නෞකාව අයත් වන්නේ ‘මෙගාෂිප්‘ ලෙස හඳුන්වන දැවැන්ත නෞකා කාණ්ඩයට ය. ලෝකයේ ලොකුම කන්ටේනර් නෞකාවක් වන එවර්ග්‍රීන්, තායිවානයේ එවර්ග්‍රීන් සමූහයට අයත් යාත්‍රාවකි. එහි බර ටොන් 220,000 කි. දිග මීටර 400 කි. ඇමරිකාවේ නිව්යෝක් නුවර පිහිටා තිබෙන එම්පයර් ස්ටේට් බිල්ඩිමේ උස ද මීටර 380 කි. ඒ අනුව මේ සූවස් ඇළේ හරස් අතට තිබෙන්නේ තවත් එම්පයර් ස්ටේට් බිල්ඩිමක් යැයි සිතාගත්තාට වරදක් නැත.

සූවස් ඇළේ පළල මීටර 205 කි. එනම් නැවේ දිගෙන් භාගයකි.

දිනකට කන්ටේනර් නෞකා 106 ක් !
ආසියාවත් යුරෝපයත් යා කරන කෙටිම ජල මාර්ගය සූවස් ඇළයි. එහි දිග සැතපුම් 120 ක් හෙවත් කිලෝමීටර 193 කි. ගෝලීය වෙළඳාමෙන් 80%ක්ම සිදුවන්නේ සාගර හරහා ය. මේ අතර,ගෝලීය වාණිජ කටයුතුවල යෙදෙන නෞකාවන්ගෙන් 12%ක්ම සූවස් ඇළ තරණය කළ යුතුය.

සූවස් ඇළ දිගේ දිනකට යෝධ කන්ටේනර් නෞකා සහ, අති දැවැන්ත කුලුනු බඳු නෞකාවන් 106 ක් පමණ සාමාන්‍ය වශයෙන් ගමන් කරයි. එදා සූවස් ඇළ 1869 නොවැම්බරයේදී නිල වශයෙන් විවෘත කරන විට එය මහා ආශ්චර්යයක් සේ සැලකුණේය. මධ්‍යධරණී මුහුද සහ රතු මුහුද කෘත්‍රිම ජල තීරයක් මගින් යා වුණේය. නමුත් සූවස් ඇළේ කාර්ය බහුලත්වය ගැන සලකන විට පුදුම විය යුත්තේ එවර්ග්‍රීන් නෞකාව විසින් 2021 වසරේදී සූවස් ඇළේ මග ඇහිරීම ගැන නොවේ. මෙවන් අනතුරු එහි සුලබ නොවීම ගැන ය. එය, එතරමටම කාර්යබහුල ය.

වසර 20 ක් තිස්සේ සූවස් ඇළ ඇතුළු ලෝකයේ සාගර තීර ඔස්සේ කන්ටේනර් නෞකා පදවන කපිතාන් යාෂ් ගුප්තා මෙසේ කියයි. ‘‘මුහුද නිසල නම්, එය පුදුමාකාර සැනසිල්ලක් සහ නිස්කලංක බවක් ගෙන දෙනවා. නමුත් හිටිහැටියේම මුහුද රළු වෙනවා. එතකොට සිදු වන දේ කලින් කියන්නට බැහැ..‘‘

ඔහුට අනුව උස යාත්‍රාවන් වන කන්ටේනර් නෞකාවන්ට සුළඟේ වේගය අතිශය තීරණාත්මක සාධකයකි. එයට හේතුව, උස අධික වන විට නෞකාව පෙරළීමට හෝ පැත්තකට හැරීමට ඇති අවදානම, ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටීම නිසා වැඩි වන හෙයිනි.

සූවස් ඇළ දිගේ පැය 16 ක් !
සාමාන්‍ය යෙන් කන්ටේනර් නෞකාවක දළ වේගය සලකා බලන විට එවැන්නකට සූවස් ඇළ සම්පූර්ණයෙන් තරණය කිරීමට පැය 12-16 ක් අතර කාලයක් ගත වේ. වේගය වැඩි කළ හැකි නමුත්, එවිට ඉදිරියෙන් ගමන් කරන නෞකාවත් සමග පරතරය අඩු වන නිසා එය පරිස්සමට කළ යුත්තකි.

මේ අතර, නැවක් පීලි පනින විට කළ හැක්කේ කුමක්ද? එවර්ග්‍රීන් නෞකාවට මුළු ඇළම හරස් කරන තරම් හැරීමට පෙර එය නතර කර ගත හැකි නොවූයේ ඇයි?

මෙයට පිළිතුර පැහැදිලි ය. උපරිම වේගයෙන් ගමන් කරන කන්ටේනර් නෞකාවක් නවත්වාගැනීමට නම් ඒ සඳහා විනාඩි 14-16 ක් අතර කාලයක් අවශ්‍ය වේ. ඒ අනුව නැව හැරීමට ඉඩ ඇතිබව කලින් දැන සිටීම වැදගත් ය. නමුත් හදිසියේ ඇති වූ වැලි කුණාටුව එයට කාලයක් තැබුවේ නැත.

බොර තෙල් නැව් සිරවෙලා!
සූවස් ඇළේ දක්ෂිණ අන්තයේ සිදුව ඇති මෙම අනතුර නිසා, දැන් දින 5 ක් තිස්සේ විශාල තදබදයක් නිර්මාණය වී ඇත. ටග් බෝට්ටු යොදාගෙන නෞකාව මුදා ගැනීමට මේ මොහොතේ ද උත්සාහ කෙරේ. අනතුරින් එවර්ග්‍රීන් නෞකාවේ සිටි කිසිවෙකුට හානියක් හෝ තුවාළයක් සිදුව නැතත්, ලෝක ආර්ථිකයට එයින් බොහෝ තුවාළ වීමට ඉඩ ඇත.

‘සූවස් ඇළේ නැවක් හිරවීම නිසා ඉන්ධන මිල වැඩි වෙන්නේ නැහැ‘‘ යනුවෙන් ලංකාවේ අමාත්‍යවරයෙකු පවසා තිබේ. කෙසේ නමුත් විදෙස් වාර්තාවලට අනුව, බදාදා උදෑසන වන විට බොර තෙල් බැරල් මිලියන 6 .3 ක් රැගත් නෞකා 7 ක් සූවස් ඇළ තුළට ප්‍රවිෂ්ට වී තිබිණි.

මේ අතර සිද්ධිය පිළිබඳ පර්යේෂණ සිදුකරන Kpler ආයතනය පවසන්නේ මේ සතිය අග වන විට අතිරේක බොරතෙල් බැරල් මිලියන 2.5 ක් සහිත තවත් නෞකා 3 ක් ද සූවස් ඇළ දිගේ යාමට සැලසුම් කරගෙන සිටි බවයි. ඒ අනුව ඒවායේ ද මාර්ගය කඩාකප්පල් වී තිබේ.

එදා සූවස් ඇළ, ඊජිප්තුව විසින් වසරක් ඇතුළත ඇමරිකානු ඩොලර් බිලියන 8 ක් යොදවා ඉදිකරන්නට ද මුල් වූයේ එහි ඛණිජ තෙල් සම්පත ප්‍රවාහනය කිරීමේ අවශ්‍යතාවය නිසා ය. එනිසා, සූවස් ඇළ ලෝකයේ බොර තෙල් ප්‍රවාහනය කරන ප්‍රධානතම මුහුදු තීරයක් බවට පත් වී තිබිණි.

ලෝක ආර්ථිකයට තවදුරටත් බලපෑම්

සාමාන්‍යෙයන් නෞකාවක ගමන ප්‍රමාද වීම, නෞකා හිමිකරුවන්ට දැඩි පාඩු ගෙන දෙයි. සූවස් ඇළ සම්බන්ධයෙන් කතා කිරීමේදී නිශ්චිත වේලාව තුළ සූවස් ඇළ තරණය කිරීම සඳහා ඊජිප්තු නැවියන් යොදාගැනීම සිදුකරන්නේ ද මෙනිසා ය. නමුත් ප්‍රමාද වන අවස්ථාවකදී අන්තර්ජාතික ගිවිසුම් අනුව, පැයකට ඩොලර් 60,000 ක බැගින් පාඩුවක් නෞකා හිමියා විසින් ගෙවිය යුතුය. ඒ අනුව දැන් දින ගණනාවක් තිස්සේ සිදුව ඇති මෙම ප්‍රමාදය නිසා දැවැන්ත මුදල් හානියක් ද සිදුව තිබේ.

මේ අතර, SeaIntelligence Consulting හි ප්‍රධාන විධායක නිලධාරී ලාස් ජෙන්සන්ට අනුව, මෙම ප්‍රමාදයන් නිසා යුරෝපියානු වරායන්ගේ තදබදයක් නිර්මාණය වීම එවර්ග්‍රීන් නෞකාව මුදා ගැනීමෙන් පසුව ද තවදුරටත් බලපවත්වනු ඇත.

පසුගිය වසරේ ලෝක නැව් කර්මාන්තය සහමුලින්ම අඩපණ කර දැමුවේ කොරෝනා වෛරස් වසංගතය විසිනි. නාවික කර්මාන්තය අතිශයින්ම මිල අධික දෙයක් බවට පත් විය. නොවැම්බර් මාසයට සාපේක්ෂව ජනවාරි මාසය වන විට එක්සත් රාජධානියේදී මැලේසියාවේ සිට එංගලන්තය බලා එන කන්ටේනරයක නෞකා ගාස්තුව ඩොලර් 14,000 දක්වා ඉහළ ගොස් තිබිණි. සූවස් ඇළේ සිදුවූ එවර්ග්‍රීන් අනතුර හේතුවෙන් නෞකා 237 ක් දැනටමත් ප්‍රමාදවීම් සහ අවහිරවීම්වලට ලක් ව සිටිති. දේශපාලකයන් කුමක් කිව්වත්, ලෝකයේ ජනාකීර්ණම සහ ප්‍රධානම වාණිජ මුහුදු මාර්ගයක වූ මෙම අනතුර, ඔබේ මුදල් පසුම්බිය ට වඩාත් දැනෙන එකක් වන බව ට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා ප්‍රකාශ කරයි.