ආණ්ඩු පක්ෂයේ ප්‍රබල මන්ත්‍රීවරියක ලෙස සැලකෙන ඩයනා ගමගේ, අද පෙරවරුවේ හිඟුරක්ගොඩ රාජ ස්මාරකය අබියස පැවැත්වෙන ක්ෂුද්‍ර මූල්‍ය වින්දිතයන්ගේ සත්‍යග්‍රහය වෙත ගියාය.

එහිදී මෙම කාන්තාවන්ගේ ගැටළු දීර්ඝ වශයෙන් සලකා බැලූ ඇය, මෙම ගැටළුව විසඳීමට සිය පූර්ණ සහයෝගය ලබාදෙන බව පවසා තිබේ.

මෙම සත්‍යග්‍රහය ආරම්භ වී අදට දින 19 ක් සම්පූර්ණ වන අතර, ආණ්ඩු පක්ෂයේ නියෝජනයක් ඔවුන්ගේ ගැටළුව විමසා බැලීමට පැමිණි පළමු අවස්ථාව මෙයයි.

පසුගිය මැතිවරණ සමයේදී ‘සෞභාග්‍යයේ දැක්ම‘ යටතේ පොදුජන පෙරමුණ විසින් ලබාදුන් එක් ප්‍රමුඛතම පොරොන්දුවක් වී තිබුණේ ක්ෂුද්‍ර මූල්‍ය ණය කපා දමන බවයි.

වින්දිතයන් එහිදී පළ කළ අදහස් අතර, කාන්තා බැංකුවක් ආරම්භ කිරීම සහ නීතීඥ සහාය පුළුල් ලෙස ලබාදීමේ අවශ්‍යතාවය ඩයනා ගමගේ මන්ත්‍රීවරියගේ දැඩි අවධානයට යොමු ව තිබේ.

තවද ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් විසින් මහදවාලේ සිදුකරන ත්‍රාසද්ග්‍රහණයන් (extortion) ට සමාන හිංසනයන් කෙරෙහි ද සිය දැඩි අප්‍රසාදය පළ කර තිබෙන ඇය, අවධාරණය කර ඇත්තේ සමාගම්වලට මේ ආකාරයේ නින්දිත හැසිරීම් පළ කිරීමට කිසිදු අයිතියක් නොමැති බවයි.

සිංහල අවුරුද්දට පවා නොනවතින සත්‍යග්‍රහයක් බවට මේ වන විට හිඟුරක්ගොඩ ක්ෂුද්‍ර මූල්‍ය වින්දිතයන්ගේ සත්‍යග්‍රහය පත්වෙමින් තිබෙන අතර, ඩයනා ගමගේ මන්ත්‍රීවරිය පවසා තිබෙන්නේ ඉදිරි සති දෙක ඇතුළත මෙම ප්‍රශ්නයට කඩිනම් විසඳුමක් ලබාදීමට තමන් නායකයන් සමග සාකච්ඡා කරන බවයි.