අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ඉතාලි සංචාරය තුළදී ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සමග කිසිදු හමුවක් සිදු නොවන බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා තහවුරු කරනවා. ඒ සම්බන්ධයෙන් පළවන මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බවයි මාධ්‍ය ලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ.

බොලොඤ්ඤා විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන අන්තර්ජාතික සමුළුවක ආරම්භක සැසියේ ප්‍රධාන දේශනය පැවැත්වීම සහ රාජතාන්ත්‍රික හමුවීම් කිහිපයක් සඳහා අගමැතිවරයාගේ ඉතාලි සංචාරය සැළසුම් කර තිබෙන බවයි එම නිවේදනයේ සඳහන්ව තිබෙන්නේ.

අගමැතිවරයාගේ ඉතාලි සංචාරය සම්බන්ධයෙන් කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්වරයාද අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වා තිබිණි. කාදිනල්වරයා පවසන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා වැරදිකරුවන් අධිකරණය හමුවට පැමිණවීමට අසමත් වූ වත්මන් ආණ්ඩුව දැන් ජාත්‍යන්තරය හමුවට ගොස් අසත්‍ය ප්‍රකාශ කිරීමට සූදානම් වන බවයි. ආණ්ඩුව ජාත්‍යන්තරයට ගොස් බොරු කියන්නේ නම් තමන්ද ජාත්‍යන්තරය හමුවට ගොස් ගැටලු විසඳා ගැනීමට සූදානම් බවයි.