සුනිල් පෙරේරාගේ සින්දු අතරින් මම එදා ඉදන්ම වඩාත්ම ආසම සින්දුව තමයි ”ඔබ දුටු ඒ මුල් දිනේ සිදු වූ සැම දේ” කියන සින්දුව.

හැබැයි මම දැනන් උන්නේ නැහැ එයා ඒක එයාගේ බිරිදට කිව්ව සින්දුවක් කියලා. ඒකත් මම දැනගත්තේ දැන් ටික කාලෙකට කලින් සුනිල්ගේ බිරිද පත්තරයට දුන්න ඉන්ටර්විව් එකකින්. ඒක පහලින් තියෙනවා.

ජිප්සීස්ලාගේ සොමි-කොමි සින්දු අතරින් සුනිල්ගේ ”ඔබ දුටු ඒ මුල් දිනේ සිදු වූ සැම දේ තවමත් මගේ මතකයේ රැදේ” කියන සින්දුව තුල මොකක්දෝ අපූර්ව සුන්දරත්වයක් තියෙනවා. උතුරා ගලායන ආදරයක් තියෙනවා.

මම දන්න විදිහට ඒ සින්දුවත් ලියලා තියෙන්නේ ජිප්සීස්ලට මුල්කාලේ සින්දු ලිව්ව චන්ද්‍රාම තමයි. නමුත් ජිප්සීස්ලාගේ අනික් සින්දුවල නැති සෞන්දර්‍යාත්මක වචන ටිකක් ඒ සින්දුවේ ගැබ්වෙලා තියෙනවා.

යෞවනියකගේ හමුවීම අපූර්වට විස්තර කරන මුල පදපේලි ටික…,”නෙත් යුග මා දෙස යොමා මගේ මියුලැසියේ කුමක් කියන්නටද සැරසුනේ” …තුල, එකී යෞවනිය ‘මියුලැසියේ’ ලෙස හදුන්වාදීම තුල, ගායකයෙකුට තමන්ට ලැබෙන්න පුලුවන් තමන්ගෙම ආත්මීය අනෙකා හමුවිම ගැන කියවෙනවා කියලයි මට නම් හිතෙන්නේ.

කාගේ කවුරුද? කොහේද ඉන්නේ? ආපහු කොහොමද හම්බවෙන්නේ වගේ තරුනයෙකුගේ හිතේ අතිවෙන ඊලග දැවෙන ප්‍රශ්න ටිකට..,

“කාගේ කවුරුද කොතැනක සිටිනවද ඔයා
කෙලෙසද මා එය දැනගන්නේ
කවදා කොයිබදි යලි හමුවේදැයි කියා
පැනයකි මා සිත පාරන්නේ”…

ගැන පිලිතුරුත් ගායකයෙක් විදිහට තමන්ගේ මාධ්‍යයෙන්ම විසදා ගැනීමට සුනිල් පෙරේරා ගන්නා උත්සහයත් ඒ ගීතයේ ඊලග පදපේලි ඔස්සේ විස්තර කරනවා.

”කැටිකොට ගුවනට මුසුකොට මාගේ රස හැගුම්
ඔබ වෙත ගීයකින් එවන්නම්”’ ..

ඇත්තටම සුනිල් පෙරේරා ඇයට විතරක් නෙමේ ඔහුට ආදරයකල, ආදරය නොකල, සැමට පෙරලා ආදරය කරලා තියෙන්නේ ඔහුගේ භාවිතයවූ සංගීතය ඇසුරින්මයි.

සුනිල් පෙරේරලාගේ සංගීතයෙන් ‘චූන්’ වෙලා හිටිය අපි ඔහුගේ අදහස්, උදහස්වලින් සමාජය නැවත නියම රිද්මයට යා යුතුයි කියලා සමාජය ‘ටියුන්’ කරන වැඩේට බැස්සහම කට්ටිය සුනිල් එක්ක අවුල් වෙනවා.

ඒත් අපි හිතන්නේ ඔය මොකවුනත් සුනිල් පෙරේරා ඔහුගේ ගීත ඔස්සේ අපිට ගෙනාව මිහිර නැවත අපට ගෙනදීමට ඔහු ජීවත්වෙලා හිටිය නම් තවදුරටත් නොකඩවාම කටයුතු කරනු ඇති බව. ඔහු ඔහුගේ බිරිදට කිව්ව අර “ඔබ දුටු ඒ මුල් දිනේ” ගීතයේ අන්තිමට කියන්නෙත් ඒ ටිකමයි. හැබැයි, ඒ ටික ඒ විදිහටම කියන්න සුනිල් පෙරේරා අපි අතර තවත් නෑ කියලා හිතෙත්දියි වඩාත්ම දුක..

“මතු දිනයක මගෙ දෙනෙතට ඔබ හමුවේ නම්
එදින නැවත මා හිනැහෙන්නම්”

අපි සුනිල් පෙරේරාගෙන් ඉගෙනගන්න ඕන දෙයක් තමයි මේ සමාජය ‘චූන්’ (choon) කරන්න පහසුවුනාට ‘ටියුන්’ (tune) කරන්න පහසු නෑ කියන එක. ගායකයෙක්, වාදකයෙක්, සංගීතඥයෙක්, විනෝදාස්වාදය සපයන්නෙක්, කලාකරුවෙක් ලෙස සුනිල් පෙරේරා ජනකාන්ත චරිතයක්වීමටත්, මතවාදියෙක් ලෙස විවාද සම්පන්න චරිතයක්වීමටත් හේතුව එයයි. එහෙත් අපිට නම් මේ සමාජය ‘චූන්’ කරන්න එක වගේම ‘ටියුන්’ කරන එකත් එකසේ වැදගත්. සුනිල් පෙරේරා අපිට පොරක් වෙන්නේ අන්න ඒ පසුබිම තුලයි.

සුබ ගමන් සුනිල් අය්යා !!