කෙරවලපිටිය විදුලි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමකට පවරා දීමේ ගිවිසුම වළක්වා ගැනීමට නොහැකි වුණේ තමන් ඇතුළු කුඩා පක්ෂවලට ආණ්ඩුව තුළ ප්‍රමාණවත් බලයක් නොතිබුණු නිසා බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි. 

ප්‍රශ්නය – ඇමතිතුමනි, පොඩ්ඩක් පැහැදිලි කරන්න මොකක්ද මේ ගිවිසුම ?

“මම දන්නෙත් නෑ ගිවිසුම කුමක්ද කියලා. මොකද ගිවිසුම මම දැකලා නෑ” 

ප්‍රශ්නය – ඒ කියන්න කැබිනට් එකට කියන්නෙත් නැතුවද මේක අත්සන් කළේ ?

“ඔව්. ගිවිසුම අත්සන් කරන බව කැබිනට් එකට ආවා. අන්තර්ගතය නෑ” 

ප්‍රශ්නය – පහුගිය 17 වෙනිදා මධ්‍යම රාත්‍රියේ මේ ගිවිසුම අත්සන් කළාලු ?

“නෑ ඉතිං ඕක අත්සන් කරන එක අපි දන්නවා එදා” 

ප්‍රශ්නය – දැන් ඔබතුමාලා යෝජනා දෙනවානෙ, නිරීක්ෂණ දෙනවානෙ. ඒ ටික දීලා සාකච්ඡා වෙන අතරතුර …. 

“ඒ සාකච්ඡා වෙච්ච දවසේ රෑ තමයි”

ප්‍රශ්නය – දැන් ඔබතුමාලා අනුමැතිය දුන්නාද ?

“එකඟත්වයක් නැතුව තමයි ඒ සාකච්ඡාව කෙළවර වුණේ”

ප්‍රශ්නය – මේ ආණ්ඩුවෙ හවුල්කාර පක්ෂවලට පයින් ගහලා ආණ්ඩුව අත්සන් කරනවා ගිවිසුම ?

“පයින් ගහලා නෙවෙයි, නොතකා” 

ප්‍රශ්නය – ඉතිං ඒක පයින් ගැහීමක් නෙවෙයිද ?

“පයින් ගහනවා කියන එක ඊට වඩා මහ බරපතළ වැඩක් නෙ” 

ප්‍රශ්නය – හරි, ඉතිං ඔබතුමාලාව ගණං අරගෙන නෑනෙ ආණ්ඩුව ?

“ඔව්, ගණං අරගෙන නෑ ආණ්ඩුව අපි කියන කරුණු. අපිව නෙවෙයි” 

ප්‍රශ්නය – ඔබතුමාලා තාමත් එකඟ නෑනෙ මේ ගිවිසුමට ?

“නෑ” 

ප්‍රශ්නය – දැන් සාකච්ඡා කරලා මොනවා කරන්නද ?

“සාකච්ඡා කරලා ඉතිං අපෙ අදහස ඉදිරිපත් කරනවා”

ප්‍රශ්නය – ඉතිං අර අදහස් ගණං ගන්නෙත් නෑනෙ, මේවාත් ගණං ගන්න එකක් නෑ ?

“ඉතිං එහෙම තමයි” 

ප්‍රශ්නය – ඉතිං වැඩක් තියෙනවාද ?

“වැඩක් තියෙයි”

ප්‍රශ්නය – මොකක්ද වැඩේ ?

“මේ රටේ ජනමතය ඒ අනුව පෙළගැසෙයි” https://www.youtube.com/embed/eNP842JtU8Q

ප්‍රශ්නය – ඒ කියන්නෙ කියන දේ අහන් නැත්නම් ඇතුළෙ ඉඳන් ගේමක් ගහනවා ?

“ඔය ගේම ගහනවා කියන වචනෙට මම අන්තිම අකමැතියි”

ප්‍රශ්නය – වාසුටයි, විමල්ටයි, ගම්මන්පිලටයි කතා කරලා කිව්වා මේකට උඹලා කට්ටිය විරුද්ධ වෙලා පසුබිම හදන්න කියලා ?

“ඕක නොදැන කියන කතාවක්”

ප්‍රශ්නය – දැන් සාකච්ඡා කරලා මේ ඔක්කොම කරලා මොනවා කරන්නද ?

“ජනමතයක් ඇතිවුණොත් ඒ අනුව මේ ගිවිසුම වෙනස් කරන්න වේවි. ආණ්ඩුව අත්සන් කරනවා, ඊට පස්සෙ මොනවා කරන්නද ? ඊට පස්සෙ කරන්න පුළුවන් දේ තමා මේ කරමින් ඉන්නෙ” 

ප්‍රශ්නය – මේක වළක්වා ගන්න බැරිවුණේ ඇයි ?

“බැරිවුණේ අපට ප්‍රමාණවත් බලයක් නොතිබුණු නිසා ආණ්ඩුව ඇතුළෙ බල සම්බන්ධතාවයේ” 

ප්‍රශ්නය – මේක වෙනත් ලාබ ප්‍රයෝජන හා සම්බන්ධ කාරණයක්ද ?

“ඒක මං දන්නෙ නෑ, මම කමෙන්ට් දෙන්නෙ නෑ”

ප්‍රශ්නය – ඒ කියන්නෙ වාසු දන්නවා, කියන්නෙ නෑ ?

“ඔබතුමා අනුමාන කරනවා කොහෙහරි ගාණක් ගහලා තියෙනවා කවුරුහරි කියලා. ඕකට මේ මාවත් ඇදගන්න හදනවා” 

ප්‍රශ්නය – ඇමතිතුමා දේශපාලන භාවිතය මේක අපේ රටේ ?

“මට ෂුවර් එකකුත් නෑ. අනිත් අය කරන දේවල් ගැන මං ෂුවර් වෙන්නෙ කෝමද ?”

ප්‍රශ්නය – විරුද්ධකමත් යනවා, ගිවිසුමත් යනවා, කම්පැනියෙ වැඩත් යනවා … ?

“වෙන්න පුළුවන්. නමුත් එක්තරා වෙලාවක වතුර උණුවෙලා උතුර වෙලාවත් එනවා” 

අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා මේ බව පැවසුවේ හිරු ටීවී නාලිකාවේ ප්‍රවෘත්ති විශේෂාංග වැඩසටහනක් සමග එක්වෙමිනි.