වත්මන් ආර්ථික අර්බුදයට එක් ප්‍රබල හේතුවක් වන්නේ ණය මත ගොඩනැගෙන, ප්‍රතිලාභ අවම මහා ව්‍යාපෘති බව ජාතික ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජාත්‍යන්තරයෙන් ණය ලබාගෙන කොන්ක්‍රීට් වනාන්තර ගොඩනැගීමෙන් අවසානයේදී ඉතිරි වන්නේ ණය බරක් පමණක් බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

විශාල ණය මුදලක් ලබාගෙන ඉදිකළ නෙළුම් කුලුණ කුරහන් පාට වර්ණයෙන් බැබළුනද ඒ වටා ජීවත් වන නාගරික දිළිඳු ජනතාවගේ ජීවිත වලට එළිය වැටී නොමැති බවත්, වර්ණවත් වී නොමැති බවත් අනුර දිසානායක මහතා පවසනවා. ඇමරිකානු ඩොලර් මිලියන 88.6 ක් වැයකර නෙළුම් කුළුණ ඉදිකර 2019 වසරේදී විවෘත කළ නමුත් මේ දක්වා ඉන් කිසිදු ප්‍රතිලාභයක් ලැබී නොමැති බවත් පෙන්වා දෙන මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ කිසිදු ප්‍රතිලාභයක් නොලබා ණය ගෙවීමට පමණක් ඉතිරි වූ බවයි.

මෙම ව්‍යාපෘතිය සඳහා ණය ලබාගෙන තිබෙන්නේ 4.152% ක ඉහළ පොලී අනුපාතයකට බවද අනුර දිසානායක මහතා පෙන්වා දෙනවා.

සංවර්ධන ව්‍යාපෘති සඳහා ණය ලබා ගැනීමේදී ප්‍රමුඛතාවය ලබාදිය යුත්තේ, වැඩි ප්‍රතිලාභ ලබාගත හැක්කේ කුමන ව්‍යාපෘතිවලින්ද යන්න සලකා බැලිය යුතු නමුත් එවැන්නක් ක්‍රියාත්මක නොවන බැවින් අවාසනයේදී ණය බරක් පමණක් ඉතිරි වන බවයි ඔහු පවසන්නේ. මත්තල ගුවත් තොටුපල, හම්බන්තොට වරාය, සූරියවැව ක්‍රීඩාංගනය ඇතුළු බොහෝ සංවර්ධන ව්‍යාපෘතිවලින් කිසිදු ආදායමක් අත්පත් කර ගැනීමට අසමත් වී ඇති බවත්, වත්මන් ආර්ථික අර්බුදයට ප්‍රධාන හේතුවක් වී ඇති බවත් දිසානායක මහතා පවසනවා.

අවසානයේදී ණය ගෙවීම සඳහා රටේ සම්පත් විදෙස් රටවලට විකිණීම පමණක් පාලකයන්ගේ පිළිතුර වී ඇති බවයි අද පාර්ලිමේන්තු විවාදයට සහභාගිවෙමින් අනුර දිසානායක මහතා සඳහන් කරන්නේ.