ජනාධිපතිවරයාගේ රාජාසන කතාව සම්බන්ධයෙන් වූ විවාදය ජනවාරි 19 හා 20 දෙදින තුල පැවැත්වීමට පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමේදී තීන්දු කර

තිබේ.

පාර්ලිමේන්තු පක්ෂ නායකයින්ගේ රැස්වීම අද (11) පෙරවරුවේ මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර එහිදී ඉදිරියේ පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් සාකච්ජා කර තිබේ.

ජනවාරි 18 දා පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ විමෙන් අනතුරුව ජනාධිපතිවරයා එදින පාර්ලිමේන්තු ඇමතීම (රාජාසන කතාව) න්‍යාය පත්‍රයට ඇතුලත් කර තිබෙන බව කතානායකවරයා එහිදී දැනුම් දී ඇත.

හිටපු අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මන්ත්‍රීවරයා සහ විපක්ෂයේ සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා විසින් ඉල්ලා තිබු රාජාසන කතාවට අදාල සභාව කල් තැබීමේ විවාදය සම්බන්ධයෙන්ද සාකච්ජාවට ලක්ව තිබේ.

කල්තැබීමේ විවාදය ජනවාරි 19, 20, 21 දින තුනක් ලබාදෙන ලෙස විපක්ෂයේ ප්‍රධන සංවිධායකවරයා විසින් කළ ඉල්ලීම ආණ්ඩු පක්ෂය විසින් ප්‍රතික්ෂේප කර ඇත්තේ, ජනවාරි 21 දිනය අභාවප්‍රාප්ත මංගල සමරවීර මහතාගේ ශෝක ප්‍රකාශය වෙනුවෙන් වෙන්කර ඇතිබව පවසමිනි.

මංගල සමරවීර මහතා වෙනුවෙන් ශෝකය පලකිරීමේ විවාදය වෙනත් දිනකට යොදා ගැනීමට ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා යෝජනා කර ඇතත්, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා පවසා ඇත්තේ, ශෝකය පලකිරීමේ විවාදය සම්බන්ධයෙන් මංගල සමරවීර මහතාගේ ඥාතීන්ට මේවනවිටත් දැනුම් දී ඇති බවයි.

ඒ අනුව 19 වන බදාදා සහ 20 වන බ්‍රහස්පතින්දා එම කල් තැබීමේ විවාදය පැවැත්වීමටත් 21ද අභාවප්‍රාප්ත මංගල සමරවීර අමාත්‍යවරයා වෙනුවෙන් වෙන් කිරීමටත් තීන්දු කර තිබේ.

ජනවාරි 18 වෙනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භකර පාර්ලිමේන්තුව අමතා ‘රාජාසන කතාව’ සිදුකිරීමෙන්
අනතුරුව, එම ‘රාජාසන කතාව’ සම්බන්ධයෙන් සභාව කල්තැබීමේ විවාදයක් ලබාදෙන ලෙස හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ කතානායකවරයාට සහ සභානායකවරයා ගෙන් ජනවාරි 03 දා ලිඛිත ඉල්ලීමක් කර තිබිණ.

අද පැවති  පක්ෂ නායක රැස්වීමට එජාප නායක රනිල් වික්‍රමසිංහ ද සහභාගී වී සිටියේය.