කෙරවලපිටි යුගදනවි විදුලි බලාගාරයේ කොටස් 40% ක් ඇමරිකානු සමාගමකට පැවරීමේ ගිවිසුම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ සාකච්ඡාවක් පැවැත්විණි. ඒ සඳහා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 ක නියෝජියන් සහභාගි වී තිබෙනවා.

සාකච්ඡාව අවසන්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා ප්‍රකාශ කළේ අත්සන් කළ ගිවිසුමට වඩා ආණ්ඩුවේ පක්ෂ නායකයන්ගේ තීන්දුව වැදගත් බවයි. රටේ සම්පත් පිරටවලට නොදීමේ ප්‍රතිපත්තිය ආරක්ෂා කළයුතු බවත්, LNG බලාගාරය ආණ්ඩුව විසින් පවත්වාගෙන යාම අනිවාර්ය බවත් ඇමතිවරයා සඳහන් කරනවා.

අමාත්‍ය විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමගද සාකච්ඡා කරන බවයි. ඔහු නැවත පැමිණ වහාම සාකච්ඡා කරන බවද ඇමතිවරයා පවසනවා.

විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමති පවසන්නේ මෙම ගිවිසුම හරහා බලාගාරයේ පාලනය ඇමරිකානු සමාගමට හිමිවන බවයි. ඒ සඳහා කිසිසේත් එකඟ විය නොහැකි බවද වෘත්තීය සමිති පෙන්වා දෙනවා. යුගදනවි බලාගාරය ඉදිකිරීම සඳහා ලබාගත් ණය ගෙවා අවසන් කර ඇති බැවින් ලබන වසරේ සිට බලාගාරය හරහා විශාල ලාභයක් අත්පත් වන බවත්, ලාභ ලබමින් තිබියදී බලාගාරය විදෙස් සමාගමකට පැවරීමට තීරණය කිරීම සැක සහිත බවත් විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසනවා.