විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා හේතුවෙන් ආණ්ඩුව යළිත් අපහසුතාවයට අවස්ථාවක් නිර්මාණය වී තිබෙනවා. මෙවර මෙම අර්බුදයට මැදිව සිටින්නේ වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතායි.

මීට පෙර කොවිඩ් අර්බුදය උත්සන්න වූ අවස්ථාවක පිළියන්දල නගරය ලොක්ඩවුන් කළ අතර ලොකුගේ අමාත්‍යවරයා මැදිහත් වී පැය 24 ක් ඉක්ම යාමට මත්තෙන් ලොක්ඩවුන් සීමා ඉවත් කළේය. එම අවස්ථාවේදී සෞඛ්‍ය බළධාරීන් සහ ලොකුගේ අමාත්‍යවරයා අතර යම් මතගැටුමක් නිර්මාණය විය.

ඉන් අනතුරුව පාදුක්ක පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා පත් කිරීමේදී ගාමිණී ලොකුගේ ඇමතිවරයා අනිසි බලපෑම් සිදුකළ බවට කොළඹ දිස්ත්‍රික් පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා චෝදනා කළේය. දෙපාර්ශ්වය අතර මතගැටුම් සති කිහිපයක් තිස්සේ පැවති අතර ඊට මැදිහත්වීමට පොදුජන පෙරමුණේ නායකයන්ටද සිදුවිය.

මෙවර ලොකුගේ අමාත්‍යවරයා සහ විමලවීර දිසානායක රාජ්‍ය අමාත්‍යවරයා අතර ගැටුමට හේතු වී තිබෙන්නේ සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට අයත පිළියන්දල ප්‍රදේශයේ පිහිටි අක්කර 72 ක ඉඩමකි. මහා භාරකාර දෙපාර්තමේන්තුව යටතේ පැවති මෙම ඉඩම සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට පවරා තිබෙන්නේ දෙහිවල සත්වෝද්‍යානයේ කටයුතු සඳහා භාවිතා කිරීමටයි.

අදාල ඉඩමේ සත්ව රෝහලක් සහ සත්ව ආහාර නිෂ්පාදනය කරන නිෂ්පාදනාගාරයක් ඉදිකිරීමට සැළසුම් කරමින් සිටී.

මේ අතර ලොකුගේ අමාත්‍යවරයා අදාල භූමියෙහි එළිමහන් සත්වෝද්‍යානයක් ආරම්භ කිරීමට ගාමිණී ලොකුගේ අමාත්‍යවරයා බලාපොරොත්තුවෙන් සිටී. ඔහු පවසා තිබෙන්නේ එහි අනිවාර්යෙන්ම එළිමහන් සත්වෝද්‍යානයක් ඉදිකළ යුතු බවයි.

මේ සම්බන්ධයෙන් විමලවීර දිසානායක රාජ්‍ය අමාත්‍යවරයා අගමැතිවරයා වෙත පැමිණිලි කර ඇති අතර ලොකුගේ මහතාගේ ක්‍රියාකලාපය හේතුවෙන් ආණ්ඩුවට යළිත් විශාල ගැටලුවකට මුහුණදීමට සිදුවන බවද රාජ්‍ය ඇමතිවරයා පෙන්වා දී තිබෙනවා.

පසුගිය 13 වැනිදා මේ පිළිබඳව අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පවත්වා ඇති නමුත් එහිදී අවසන් එකඟතාවයකට පැමිණ නොමැති බවයි වාර්තා වන්නේ.

මේ වනවිටත් සත්වෝද්‍යාන සේවකයන් විසින් වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කර ඇති අතර ඔවුන් පෙන්වා දෙන්නේ දෙහිවල සත්වෝද්‍යානය තිබියදී ඒ අසලම තවත් සත්වෝද්‍යානයක් ඉදිකිරීම නිෂ්ඵල බවයි. දෙහිවල සත්වෝද්‍යානයේ කටයුතු සඳහා දැනට සකස් කර ඇති සැළසුම් අනුව අදාල ඉඩම භාවිතා කිරීම වඩාත් යෝග්‍ය බවද සේවකයන් පෙන්වා දෙනවා.