මහා පරිමාණ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින තිළිණි ප්‍රියමාලි සහ ඇයගේ පෙම්වතා

බව පැවසෙන ඉසුරු බණ්ඩාර ලබන මස 02 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (19) නියෝග කළේය.

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී නඩු විභාගය සිදුකිරීමෙන් අනතුරුව අධිකරණය එම තීන්දුව දෙනු ලැබුවේ, සැකකරුවන් වෙනුවෙන් ඉදිරිපත් වූ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමිනි.

දැනට බන්ධනාගාරගත කර සිටින තිළිණි ප්‍රියමාලි ගේ බැංකු ගිණුමේ තොරතුරු අනුව එම ගිණුමට 2022ක වසරේ මුල් මාස 6දී රුපියල් මිලියන 3,000ක මුදලක් තැන්පත්වී තිබූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (19) අධිකරණයට දැනුම් දුන්නේය.

නඩුව කැඳවු අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කියා සිටියේ සැකකාර තිළිණි ප්‍රියමාලි රක්ෂිත බන්ධනාගාර ගතවී සිටියදීත් පුද්ගලයෙකුව දුරකථනයෙන් අමතා ලක්ෂ 300ක මුදලක් ඉල්ලා ඇති බවය.

මහා පරිමාණ මුල්‍ය වංචා සිදුකිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තිළිණි ප්‍රියමාලි සහ ඇයගේ ව්‍යාපාරික හවුල්කරු ලෙස හඳුනාගෙන ඇති ඉසුරු බණ්ඩාරට එරෙහිව ගොනුකර ඇති නඩු 04ක් අද කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු ලැබීය.

කොටුව ස්ථිර මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ අද දින අධිකරණ කටයුතුවලට සහභාගී නොවීම හේතුවෙන් නඩු කැඳවීම සිදුවූයේ වැඩබලන මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා ඉදිරියේය.

එමෙන්ම දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකාර තිළිණි ප්‍රියමාලි සහ ඉසුරු බණ්ඩාර අද දින බන්ධනාගාර නිලධාරින් විසින් අධිකරණයට රැගෙන විත් නොතිබු අතර ඔවුන්ව නීති කෘත්‍යය සඳහා ඉදිරිපත් කරනු ලැබුවේ ස්කයිප් තාක්ෂණය ඔස්සේය.

ඒ අනුව සත්තාර් නම් ව්‍යාපාරිකයෙකු විසින් ගොනුකර ඇති පළමු පැමිණිල්ල කැඳවු අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකක අංක 01හි නිලධාරින් මෙතෙක් සිදුකරන ලද විමර්ශන සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කළේය.

“ස්වාමිනි, තිළිණි ප්‍රියමාලි නම් මෙම සැකකාරිය සම්බන්ධයෙන් පළමු පැමිණිල්ල ලැබී ඇත්තේ රුපියල් මිලියන 226කට වැඩි මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන්. මීට පෙර නඩුවාරයකදී අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තු 04කට අදාළව අපි මෙම මුල්‍ය වංචාවට සම්බන්ධ ස්ථාන 04ක් පරීක්ෂාවට ලක්කළා. වත්තල, කිරුළපන, චැතම් වීදිය සහ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය යන ප්‍රදේශ ආශ්‍රිත ලිපිනයන් 04ක සිදුකළ මෙම සෝදිසි මෙහෙයුම් සඳහා සැකකාරියත් රැගෙන ගියා. ලෝක ‍වෙළඳ මධ්‍යස්ථානයේ 34 වැනි මහලේ තිකෝ සමුහ ව්‍යාපාරයට අයත් ස්ථානය සෝදිසි කිරීමේදී පරිගණක CPU 5ක් විමර්ශන නිලධාරින් භාරයට ගත්තත් ඒවායේ HARD DISK ඉවත් කර තිබුණා.”

එහිදී විමර්ශන නිලධාරියා සැකකාර තිළිණි ප්‍රියමාලි විසින් සිදුකර ඇති ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන්ද කරුණු ඉදිරිපත් කළේය.

“ස්වාමිනි, මෙම සැකකාරිය තිකෝ Gems, තිකෝ Construction, තිකෝ Films වැනි නාමයන් ඔස්සේ තිකෝ සමුහ ව්‍යාපාරය නමින් ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් තිබෙනවා. නමුත් ස්වාමිනි මෙම ව්‍යාපාරයට ආයෝජනය කිරීමට ඇයට කිසිදු ආදායම් මාර්ගයක් තිබී නැහැ. එවැනි තත්ත්වයක මෙම සමුහ ව්‍යාපාරයේ සේවකයින්ගේ වැටුප් සහ බිල් සඳහා රුපියල් ලක්ෂ 41ක වියදමක් මාසිකව දරා තිබෙනවා. රුපියල් ලක්ෂ 350ක වියදමින් චිත්‍රපටයක මුහුරත් උළෙලක් පවත්වා තිබෙනවා. නොයෙක් ප්‍රසංග සහ උත්සව සඳහා යොදවා ඇති මුදල රුපියල් ලක්ෂ 55ක්. මේ සියලු කටයුතු සඳහා යොදවා ඇත්තේ වංචා කළ මුදල්. නමුත් ඒ කිසිදු මුදලක් යෙදවීම හරහා ඇය ලාභයක් උපයා නැහැ.”

සැකකාරියගේ මුල්‍ය වංචාවන්ට හසුවූ පුද්ගලයන් සම්බන්ධයෙන්ද විමර්ශන නිලධාරියා කරුණු හෙළිකළේය.

“මෙම තැනැත්තියගේ ජංගම දුරකථනය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයන් තුළින් අනාවරණය වී තිබෙනවා.. ඇය සමග මුදල් ගනුදෙනු සිදුකළ තැනැත්තන් පිළිබඳව. ඔවුන් බහුතරයක් ප්‍රසිද්ධ පුද්ගලයන් සහ දේශපාලනඥයින්. එම තැනැත්තන් මෙම තැනැත්තිය භාරයේ විශාල වටිනාකම්වලින් යුත් මුදල් තැන්පත් කර ඇති බව කෙටි පණිවුඩ හා වොයිස් මැසේජ්වලින් තහවුරු වෙනවා. නමුත් ස්වාමිනී, ඒ කිසිදු තැනැත්තෙක් ඒ පිළිබඳ පැමිණිලි නොකිරීම අපිට ප්‍රශ්නයක් වෙලා තියෙනවා.

ඒ වගේම ස්වාමිනි මෙම තැනැත්තියගේ බැංකු ගිණුමේ මෙම වසරේ ජනවාරි මාසයේ සිට ජුනි මාසය දක්වා රුපියල් මිලියන 3,000ක මුදලක් තැන්පත් වෙලා තියෙනවා. ඒ වගේම ඒ සියලු මුදල් මේ වෙද්දි ගිණුමෙන් පිටතට ගෙන වියදම් කරලාත් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකළ යුතුයි. එබැවින් ස්වාමිනි, මෙම කරුණු යටතේ මෙම තැනැත්තියට විරුද්ධව දණ්ඩ නීති සංග්‍රාහයේ සහ මුදල් විශුද්ධිකරණ පනත යටතේ ඉදිරි නෛතික ක්‍රියාමාර්ග ගැනීමට අප බලාපොරොත්තු වෙනවා.”

එහිදී වැඩිදුරටත් කරුණු දැක්වු විමර්ශන නිලධාරියා සැකකාරිය තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලීමක් කළේය.

“ස්වාමිනි, මෙම සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කර තිබියදීත් ඇය සන්තකයේ තිබී අවස්ථා ‍02කදී, ජංගම දුරකථන 03ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇය ඇයගේම ව්‍යාපාර ආයතනයේ සේවය කරන සේවකයෙකු අමතා දුරකථන අංක කිහිපයක් ඉල්ලාගෙන තිබෙනවා. සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගතව සිටියදී අවස්ථා 11කදී දුරකථන ඇමතුම් 22ක් ගෙන ඇති බව මෙතෙක් සිදුකරන ලද විමර්ශන තුළින් තහවුරු වී තිබෙනවා. එහිදී එක් පුද්ගලයෙකුට ඇමතුමක් දී ඇප ගන්න කියා ලක්ෂ 300ක මුදලක් ඉල්ලා තිබෙනවා.

මෙම තැනැත්තිය සම්බන්ධයෙන් දැනට මහෙස්ත්‍රාත් සහ මහාධිකරණවල නඩු 07ක් විභාගවෙනවා. ඒ වගේම ලක්ෂ 7,500ක්, ලක්ෂ 800ක් සහ ලක්ෂ 430ක් වංචා කිරීම සම්බන්ධයෙන් නව පැමිණිලි 03ක්ද මේ වනවිට ලැබී තිබෙනවා. එබැවින් ස්වාමිනි මෙම සංකීර්ණ විමර්ශනයට අදාළව දේපළ වසන් කිරීමට, සාක්ෂි වසන් කිරීමට සහ සාක්ෂිකරුවන් බිය වැද්දවීමට සාක්ෂිකාරිය උත්සාහ දරා ඇති බැවින් ඇයව තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මා ඉල්ලා සිටිනවා.”

මෙහිදී අගතියට පත් පැමිණිලිකරුවෙකු වෙනුවෙන් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න ද අධිකරණයට කරුණු දැක්විය.

“ස්වාමිනි, මම මේ කරුණු දක්වන්නේ මේ විත්තිකාරිය භාරයේ රුපියල් මිලියන 226ක් තැන්පත් කර අගතියට පත්වූ මාගේ සේවාදායකයා වෙනුවෙන්.”


‘මෙම බරපතළ මුල්‍ය වංචාව සිදුකළ ශෘංගාර මූල්‍ය රැජින සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වෙද්දි සාර්ථක විමර්ශනයක් ගෙන ගියත් මෙම ගනුදෙනුවලදී අතරමැදි පාර්ශ්වයක් ලෙස නම කියවෙන ජානකී සිරිවර්ධන සම්බන්ධයෙන් මෙතෙක් නීතිය ක්‍රියාත්මක වී නැහැ. මම අහන්න කැමතියි, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඇයි ජානකී සිරිවර්ධන අත්අඩංගුවට නොගන්නේ කියලා. මොකද මේ වෙද්දි මෙම මුල්‍ය වංචාව සම්බන්ධයෙන් ලොකුම ගැටලුව වෙලා තියෙන්නේ වංචා කළ මුදල්වලට මොකද වුණේ කියන එක. අන්න ඒ මුදල්වලට වුණ දේ සොයා ගන්න පුළුවන් ජානකි සිරිවර්ධන අත්අඩංගුවට ගත්තොත්.”

”තිළිණි වෙනුවෙන් කරුණු දක්වන්න අධිකරණ ඇමතිතුමාගේ නීතිඥ මණ්ඩලයම ඇවිල්ලා වගේ.”

අනතුරුව සැකකාර තිළිණි ප්‍රියමාලි වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දසුන් නාගස්හේන, රඛිත රාජපක්ෂ ඇතුළු නීතිඥ මණ්ඩලයට විත්තිය වෙනුවෙන් කරුණු දැක්වීමට අවස්ථාව හිමිවුණි.

එම කරුණු දැක්වීමට නීතිඥ දසුන් නාගස්හේන මහතා නැගී සිටිමත් සමඟ ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න විවෘත අධිකරණය ඉදිරියේ මෙසේ පැවසීය.

“තිළිණි වෙනුවෙන් කරුණු දක්වන්න අධිකරණ ඇමතිතුමාගේ නීතිඥ මණ්ඩලයම ඇවිල්ලා වගේ.”

එම ප්‍රකාශයට සිනවාවකින් ප්‍රතිචාර දැක්වූ නීතිඥ දසුන් නාගස්හේන  සැකකාර තිළිණි ප්‍රියමාලි වෙනුවෙන් කරුණු දැක්විය.

“ස්වාමිනි, මම මාගේ සේවාදායිකාව වෙනුවෙන් ඇප ඉල්ලීමක් සිදුකරනවා. ඇයට එරෙහිව සිදුකරන සියලු චෝදනා ඇප ලබාදිය හැකි වැරදි. මොකද ඇය සිදුකළ සියලු ව්‍යාපාර කර තිබෙන්නේ නිත්‍යානුකූලව. එය ලංකා රජයට බදු ගෙවා තිබෙනවා. මේ මුදල් තැන්පත් කර තිබෙන සියලු දෙනා සාමාන්‍ය පුද්ගලයින් නෙමේ. මම අහන්න කැමති මිලියන 226ක් වැනි අතිවිශාල මුදලක් තැන්පත් කරද්දි ඇයි මාගේ සේවාදායිකාවගේ ව්‍යාපාරවල නිත්‍යානුකූලභාවය සෙව්වේ නැත්තේ කියලා.

ඒ වගේම මම යෝජනා කරනවා මේ මුදල් තැන්පත් කළ පුද්ගලයිනුත් ඒ මුදල් ඉපයූ ආකාරය සොයන්න කියලා. එම මුදල් ඉපයීම් නිත්‍යානුකූලද නැතහොත් ඒවා කලු සල්ලිද කියන එක අපිත් දැනගන්න කැමති.”

අනතුරුව අබ්දුල් හසන් කමල් හසන් නැමැත්තා විසින් ගොනුකර ඇති පැමිණිල්ල කැඳවු අතර ඊට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරින් කරුණු දැක්විය.

“ස්වාමිනි මෙම නඩුව පැමිණිලිකරු ගොනුකර ඇත්තේ අමෙරිකානු ඩොලර් 60,000ක්, ඔස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂයක් සහ රත්තරන් කිලෝග්‍රෑම් 1ක් වංචා කිරීම සම්බන්ධයෙන් ඉසුරු බණ්ඩාර නැමැත්තාට එරෙහිවයි. ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා පළමු සැකකාරියගේ ව්‍යාපාරවල අධ්‍යක්ෂකවරයෙකු ලෙස දෙවන සැකකාර ඉසුරු බණ්ඩාර නැමැත්තා කටයුතු කර ඇති බව. සැකකරුගේ එක් බැංකු ගිණුමක තිබී මිලියන 10ක මුදලක් මේ වනවිට සොයාගෙන තිබෙනවා. එමෙන්ම තවත් මුදල් සොයා විමර්ශන ක්‍රියාත්මකයි. ඒ වගේමයි වංචා කරන ලද රත්තරන් ස්වර්ණාභරණ අලෙවිසැලකට අලෙවිකර ඇති බවට ලැබී ඇති තොරතුරක් ඔස්සේ මේ වනවිට විමර්ශන සිදුකරනවා. “

අධිකරණය ඉදිරියේ ඉදිරිපත් වූ කරුණු සලකාබැලූ වැඩබලන මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා සැකකරුවන් වෙනුවෙන් සිදුකළ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් සැකකාර තිළිණි ප්‍රියමාලි සහ ඉසුරු බණ්ඩාර යන දෙදෙනාවම නොවැම්බර් 02 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළාය.