යුගදනවි බලාගාරයේ කොටස් 40%ක් මිලදී ගත් ඇමරිකානු සමාගමට එම බලාගාරයේ පාලන බලය හිමි නොවන්නේ නම් එය තමන්ට සලකා බැලිය හැකි තත්වයක් බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. 

“ඔය අත්සන් කරලා ඉවර වෙලා තියෙන්නෙ යුගදනවි බලාගාරයේ මහාභාණ්ඩාගාරය සතුව තිබිච්ච කොටස් 60%න් 40%ක් එම සමාගමට දීලා තියෙනවා ඩොලර් මිලියන් 250කට. ඒ ගිවිසුම තමයි මේ අත්සන් කරලා තියෙන්නෙ. මේ පිළිබඳ අපි මුදල් ඇමතිතුමා ඇතුළු නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී ඇහුවා, මේ කොටස් 40% ගැනීම සමග යුගදනවි බලාගාරයේ පාලන බලය මේ සමාගමට යනවද කියලා. එතෙන්දි විදුලිබල මණ්ඩලයේ වත්මන් සභාපතිතුමා පැහැදිලිව කිව්වා 40%ක කොටස් ගියාට පාලනමය බලය තියෙන්නෙ ආණ්ඩුව අතේ කියලා. කෙසේවෙතත් අමාත්‍ය මණ්ඩලයට ඒ ගිවිසුම ඉදිරිපත් කළයුතුව තිබෙනවා ඉදිරිපත් කරපු අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අනුව. 

විදුලිබල මණ්ඩලයේ සභාපතිතුමා කියන විදියට මේ සමාගමට මේ යුගදනවි බලාගාරයේ මැනේජ්මන්ට් පවර් එකක් යන්නෙ නැත්නම් ඒක අපට සලකා බැලිය හැකි තත්වයක්. මොකද යුගදනවි එක අවුරුදු 15කින් කොහොමත් විදුලිබල මණ්ඩලයට අයිති වෙනවා” 

අමාත්‍ය විමල් වීරවංශ මහතා මේ බව පැවසුවේ ඊයේ (26) මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි. 

කෙසේවෙතත් මෙරට LNG සැපයුම දීර්ඝ කාලීනව ඇමරිකානු සමාගමකට නතු වන්නේ නම් තමන් ඒ ගැන සංවේදී වන අතර ඒ පිළිබඳව ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ මහතා සඳහන් කළේය