දේශපාලනයේදී සතුරන් මිතුරන් මාරුවෙන මාරුවිල්ල සාමාන්‍ය බුද්ධියකින් තේරුම් ගන්න ගියොත් මොලේ වයර් ෂෝට් වෙනවා. සමහර වෙලාවට මේ මොහොතේ උග්‍ර ලෙස මරාගන්නවා වගේ පෙනෙන පාර්ශව අතර අනාගතය වෙනුවෙන් නිල නොවන එකඟතා හැදෙනවා. ඒ වගේම තමයි මේ මොහොතේ කිරිපැණි වගේ ඉන්න පාර්ශව අනාගතයේදී වෙන්වෙන්න නියමිතයි. උදාහරණ එමටයි.

පොඩි උදාහරණයක් කිව්වොත්, ජේවීපී අනුරට රතු අලි පැටියා කියල කින්ඩි දාපු වීරවංශ, ළඟකදී ඉඳලා ඒ අපර නාමය පාවිච්චි කරලා ඇටෑක් කරේ නැහැ නේද ? ඔබ නිකමට හිතුවද ඇයි ඒ කියල. ඒකට හේතුව තමයි මීට අවුරුදු දෙකකට කලින් දේශපාලනය නෙමෙයි දැන් තියෙන්නේ. තව අවුරුදු දෙකකින් දේශපාලනය තව වෙනස් වෙනවා. සිරිසේනට සිරිසේන.. සිරිසේන.. කියපු දයාසිරිලා වීරවංශල අද කොහොමද සිරිසේන එක්ක.. අන්න ඒ වගේ තමයි.

තව උදාහරණයක් කියන්නද ? සජිත් මේ මෑතකදී කියල තිබ්බා ඒ ගොල්ලෝ නව ලිබරල්වාදයට විරුද්ධයිලු. (හිනා නොයන තැන්වලිනුත් හිනා යනව.) ජාතික ආර්ථිකයක් හදන්න දේශප්‍රේමී බලවේගවලට සජබ එක්ක එකතු වෙන්නලු. ඔබට දැනෙනවද මේ වචනවල පොඩි හුරුපුරුදු ගතියක්.? හිතෙන්නේ නැද්ද සජිත් කාටහරි කතාකරනවා කියල. ජාතික.. දේශප්‍රේමී බලවේග.. වචන සෙට් එක පුරුදුයි වගේ නේද?

ලංකාවේ ගම්වල බල්ලන්ට පූසන්ට කතාකරන භාෂාවක් තියෙනව. ජුහ් ජුහ් කිව්වොත් බල්ලා එනවා හැබැයි පූසා එන්නෙ නැහැ. ලංකාවේ පූසෝ එන්නේ ඉස ඉස කිව්වම. ඉස ඉස කිව්වට බල්ලෝ එන්නෙ නැහැ. ඒ වගේ තමයි සමහර දේශපාලන පාර්ශ්වවලට කතාකරන භාෂාවක් තියෙනව. ඒ ඒ වෙලාවට ජුහ් ජුහ් කියනව. ඒ ඒ වෙලාවට ඉස ඉස කියනවා. දේශපාලනයේදීත් ඒ ඒ කෙනාට කතාකරන භාෂාවක් තියෙනව.

දැන් අපි කෙලින්ම මාතෘකාවට එමු. ආණ්ඩුව ඇතුළෙ කැරැලි ගහන ටීම් වලින් එකක්නේ වීරවංශ – ගම්මන්පිල කණ්ඩායම. වාසුලා ඩිව්ලා තිස්ස විතාරණලා හිටියට වැඩේ සැලසුම් වෙන්නේ අර දෙන්නා අතින් නේ. ඒක හැමෝම දන්නවනේ. ඒත් මේ ඊයේ පෙරේදා ඉඳල වීරවංශගේ පරිවාර කණ්ඩායම් ආණ්ඩුවට සෑහෙන්න ගහනව. ඔය ජාතික සංවිධාන එකමුතුවේ වසන්තලා එහෙම නෙලනවා හෝ ගාලා. මෙතන පොඩි අමුතු වැඩක් වෙනවා. ඒ පරිවාර කණ්ඩායම් ගම්මන්පිලටත් නෙලනවා හිටු ගාලා.

විශේෂයෙන්ම ත්‍රිකුණාමල තෙල් ටැංකි ප්‍රශ්නයේදී වීරවංශගේ පරිවාර සේනා ගම්මන්පිලට නෙලනවා. එහෙම වෙන්නෙ ඇයි ? පහුගිය කාලේ ඒ දෙන්නම බැසිල් විරෝධයක හිටියා. හැබැයි තෙල් ටැංකි ප්‍රශ්නයේදී ගම්මන්පිල ඉන්නේ බැසිල්ට සමාන ස්ථාවරයක. වීරවංශලා ඉන්දියන් විරෝධී ස්ථාවරයක. ඒ කියන්නේ හෙට අනිද්දට වීරවංශලා ස්වාධීන වෙන්න යනකොට (එහෙම ආරංචි එනවනේ) ගම්මන්පිල අර දෙදහස් පහළොවේ වගේ ගල්ලෙන ගාවටම ගිහින් ආපහු හැරිලා යන්න ඉඩ තියෙනව. ඒ බව කලින් තේරුණු හින්දද දැන්මම වටෙන් ගස්සන්නේ කියල හිතන්න වෙනවා.

ඕකෙ තව පැත්තක් තියෙනව, ගම්මන්පිලට ඒ අත්තත් නැතුව මේ අත්තත් නැතුව තනි වුනොත් වීරවංශගේ පරිවාර සේනා ගම්මන්පිලට ගහන මේ ගැහිල්ලට බැසිල් පාර්ශ්වය සතුටු වෙන්න පුළුවන්. එක ඉත්තෙක්ව බ්ලාස්ට් කරලා දැම්ම කියල. දේශපාලනයේ නිර්නාමික නිල නොවන ගුප්ත සන්ධාන හැදෙන්නේ කොයිවෙලේ කොහොමද කියල හිතනවට වඩා ලේසියි පිටසක්වළ ජීවීන් ඉන්නවද නැද්ද කියල සොයාගන්න එක.

ඒ වගේම මතක තියාගන්න ඕන අතුරු මිතුරු කොහොම වුනත් දේශපාලන හතුරු මිතුරු තීරණය වෙන්න දඹදිව තුරු වගේම චීන තුරු ඇමරිකන් තුරු ත් බලපානවා. අනාගත දේශපාලනය දෙස කල්පනාවෙන් බලා ඉන්න. අලුත් මිතුරු කඳවුරු වගේම සතුරු කඳවුරුත් හැදෙයි. අලුත් බෝතල්වලට පරණ වයින් පිරෙයි. රැවටෙනවද නැද්ද කියල තීරණය කරන්න ඕන ජනතාව.

– තාරක