වර්ජනය අවසන් කර සාමාන්‍ය පරිදි ධාවන කටයුතුවලට එක්වීමට දුම්රිය වෘත්තීය සමිති එකඟ වී තිබේ.

ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා හා දුම්රිය දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති නියෝජිතයින් අතර අද (06) පස්වරුවේ මහාමාර්ග අමාත්‍යාංශයේ පැවති සාකච්ඡා සාර්ථකව නිම කරමින් තම වෘත්තීය ක්‍රියාමාර්ග නතර කර සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනයට එක්වීමට වෘත්තීය සමිති එකඟ විය.

ඔවුන් මුහුණ දෙන ගැටළු පිළිබඳ අවධානය යොමුකල ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඒවා කඩිනමින් විසඳීමට කටයුතු කරන ලෙස අමාත්‍යාංශ ලේකම් රංජිත් පේමසිරි, දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන්ට මෙහිදී උපදෙස් ලබා දෙන ලදී.

ඉන්ධන හිඟකම නිසා සේවයට වාර්තා කිරීමට නොහැකිවීම මත සමහර දුම්රියන් ධාවනය නොවන නිසා පැන නැගී ඇති ගැටළු සාකච්ඡා කිරීම මෙම හමුවේ ප්‍රධාන අරමුණ විය.

දුම්රිය දෙපාර්තමේන්තුවට සීමිත පෙට්‍රල් ප්‍රමාණයක් ලැඛෙන නිසා ඉන්ධන අවශ්‍ය සියළුම දෙනාට දීමට එය ප්‍රමාණවත් නොවීම නිසා කෝටා ක්‍රමයකට අත්‍යාවශ්‍ය අය සඳහා එය ලබාදීමට කටයුතු කරන බව මෙහිදී දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසීය.

එමෙන්ම ප්‍රවාහන ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව සතු වාහන හා ගමනා ගමන මණ්ඩලයෙන් බස් රථ කිහිපයක් ලබාගෙන වාහන සංචිතයක් සාදා දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන් සඳහා ප්‍රවාහන පහසුකම් ලබාදීමට කටයුතු කරන බවද මෙහිදී පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රවාහන අමාත්‍යවරයා :
ඉන්ධන හිඟය නිසා මගී ජනතාව පීඩාවට පත්වෙලා තිඛෙන මෙවැනි අවස්ථාවක දුම්රිය මෙන්ම ලංගම සතු බස් රථ පුළුවන් තරම් ප්‍රමාණයක් ධාවනය කර මගී ජනතාවගේ අවශ්‍යතා ඉටුකරදීමට සැමදෙනාගේම වගකීම බව පැවසීය. එමෙන්ම අනෙකුත් වෘත්තීය ගැටළු පුළුවන්තරම් ඉදිරි කාලයේදී විසඳීමට කටයුතු කර ගෞරවාන්විත සේවයක් ලෙස මෙය ඉදිරියට ගෙනයාමට කටයුතු කරනවා. වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹීමට පෙර තිඛෙන ගැටළු සාකච්ඡා කර එමගින් විසඳුම් ලබාගැනීමට කටයුතු කරන ලෙසද ප්‍රවාහන අමාත්‍යවරයා වෘත්තීය සමිතිවලින් ඉල්ලීය.

මගී ජනතාව යම් යම් අවස්ථාවලදී කළහකාරී ලෙස හැසිරීම නිසා තම සාමාජිකයින් මුහුණ දෙන ගැටළු මෙහිදී වෘත්තීය සමිති නියෝජිතයින් පැවසීය. ඒ සඳහා ආරක‍ෂක අංශ සමග සාකච්ඡා කර ඔවුන්ගේ ආරක‍ෂාව තහවුරු කිරීමට කටයුතු කරන ලෙස ප්‍රවාහන අමාත්‍යවරයා, දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාට උපදෙස් ලබා දෙන ලදී.

මෙම අවස්ථාවට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් රංජිත් පේමසිරි, දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහත්වරුන් ඇතුළු ප්‍රවාහන අමාත්‍යාංශයේ නිලධාරීන්, දුම්රිය වෘත්තීය සමිති නියෝජනය කරමින් දුම්රිය නගා සිටුවීමේ වෘත්තීය සමිති සංගමය, දුම්රිය ඒකාබද්ධ සන්ධානය, පොදු සේවක සංගමය, තාක‍ෂණික නිලධාරි මංගමය, ලංකා දුම්රිය නියාමක සංගමය, දුම්රිය පාලක සංගමය, දුම්රිය ස්ථානාධිපති සංගමය, ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් සංගමය නියෝජනය කරමින් නියෝජිතයින් එක්විය.