ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතියේ දත්ත ගොනු කිහිපයක් මැකී යාම සම්බන්ධයෙන් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා විශේෂ පරීක්ෂණයක් පැවැත්වෙනවා. ඖෂධ සැපයුම් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසන්නේ මෙම විමර්ශනය අවසන්වීමෙන් පසුව දත්ත මකා දැමීම හෝ මැකීයාම සම්බන්ධයෙන් වගකිව යුතු පාර්ශ්වය අනාවරණය කරගත හැකි බවයි.

මේ අතර මෙම දත්ත ඇතුළත් මෘදුකාංග පද්ධතිය භාර සමාගම පවසන්නේ ඉංජිනේරුවෙකුගේ අත්වැරැද්දක් හේතුවෙන් දත්ත මැකී ගොස් ඇති බවයි. කෙසේ නමුත් අදාල පද්ධතියට ඇතුළුවීමෙන් පසුව නැවතත් එම දත්ත ප්‍රතිෂ්ඨාපනය කළ හැකි බවද අදාල පද්ධතිය භාර එපික් ලංකා ටෙක්නොලොජිස් ආයතනයේ ආචාර්ය නයන දෙහිගම මහතා පවසනවා.

ප්‍රධාන දත්ත පද්ධතියට පිටතින් ගබඩා කර තිබූ අතිරේක ලිපිගොනු ප්‍රමාණයක් අස්ථානගත වී ඇති බවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන පරීක්ෂණ රාමුව තුළ ඔවුන්ගේ අවසර ලැබුණු වහාම අදාල දත්ත නැවත රිකවරි කිරීම සිදුකළ හැකි බවත් දෙහිගම මහතා පවසනවා. මේ වනවිට අදාල දත්ත පද්ධතියට කිසිවෙකුටත් ඇතුළුවිය නොහැකි බවද ඔහු සඳහන් කරනවා.