දැන් (2021දී) මගේ මුණුබුරාගේ වයස අවුරැදු අටකි. 2050දී අපේ පුතාටද දැන් අපේ මුණුබුරාගේ වයසේ මුණුබුරෙක් ඉන්නට බැරි නැත.මේ අපේ පුතා හා ඔහුගේ මුණුබුරා අතර 2050දී ඇතිවිය හැකි යැයි මා සිතූ කතාබහකි .

මුණුබුරා සිය ටැබ්බෙක ඔබමින් සීයාගේ පරණ පින්තූර නරඹමින් සිටින්නේ හයියෙන් හිනාවෙන්නට පටන් ගනී.

“සීයෙ ඔයා ඉස්සර මාර ස්ටයිල්කාරයා කියල කයිය ගැහුවට කරල තියෙන්නෙ හරි ගොන් ෆැෂන්නෙ” ඔහු සිනාව අතරින්ම කියයි .”මාස්ක් දෙකකුයි,ෆේස්ෂීල්ඩ්ඩෙකකුයි දාල ඉන්න කොට ලස්සනයි කියලද ඔයා හිතන් හිටියෙ .මට නම් පේන්නෙ ඔයා ඒ කාලෙ ඒලියන් කෙනෙක් වගේ කියල “

සිය මුණුබුරාගේ කතාව අසා පුතාද හිනාවෙන්නට පටන් ගනී.

“ඕක මෝස්තරේකට කරපු වැඩක් නෙවෙයි කොල්ලො”පුතා කියයි .”2020දි කොවිඩ් 19 කියල  මාරාන්තික වසංගතයක් ඇවිත් අවුරැදු ගානක් තිබුණා .ඒ කාලෙ ලෝකෙම අනුගමනය කරපු ආරක්ෂණ ක්‍රමයක් ඕක. බොට දැන් සීයෙක් ඉන්නෙ මං ඒ කාලෙ ඔහොම පරිස්සම් වෙලා හිටපු නිසා තමයි”

පුතාගේ මුණුබුරා බර කල්පනාවකට වැටෙයි .

“ඒ වුණාට මාස්ක් දාගෙන හිටියම මිනිස්සුන්ට අනිත් මිනිස්සු අඳුරගන්න අමාරැයිනෙ සීයෙ”ටික වේලාවකින් ඔහු කියයි .

“මාස්ක් දාන්නෙ නැති කාලෙත් අපිට මූණ බලල මිනිස්සුන්ව අඳුරගන්න බැරි වුණා පුතේ” අපේ පුතා සිය මුණුබුරාට කියයි .”අපියි රටයි දෙකම අගාදෙට යද්දිවත් අපිට ඒකට වැරැදිකාරයො අඳුරගන්න බැරි වුණෙත් ඒකනෙ”

“ඒ කියන්නෙ ඒ කාලෙ තිබුණු ලොකුම ප්‍රශ්නෙ ඔය වසංගතේ නෙවෙයිද සීයෙ”

“නෑ පුතේ ලොකුම ප්‍රශ්නෙ කොරෝනා නෙවෙයි,ගොන්කම.ආණ්ඩුව මුල ඉඳන්ම එක්කො  ගොන් තීරණ ගත්තා .නැත්නම් හරි තීර⁣ණේ ගන්න පරක්කු කරා”පුතා කියා සිටී.”ඒ වගේම අපි ආණ්ඩුවට සෙකන්ඩ් වෙන්නෙ නෑ කියන්න වගේ රට්ටුත් පට්ට ගොන් විදිහට හැසිරැණා “

පුතාගේ මුණුබුරා දිගටම ටැබ්බෙක ඔබමින් කොරෝනා කාලේ තොරතුරු සොයයි .

“මේ එක තැනක කියල තියෙන්නෙ සීයෙ මිනිස්සු බොරුවට බය වුණාට කොරෝනා කියන්නෙ හෙම්බිරිස්සා උණක් කියල “පොඩ්ඩා අසා සිටී. “ඔයත් අතිපණ්ඩිත  වුණාට සුළුදේකටනෙ බයවෙලා දඟලල තියෙන්නෙ “

“හැබැයි පුතේ ඒ හෙම්බිරිස්සා උණෙන් ලෝකෙ පුරා ලක්ෂ පනහකට වැඩිය මළා “පුතා සිය මුණුබුරාට කියා සිටී.”ඒ කාලෙ ටෙලිවිෂන්නෙකේ තිබුණා පිස්සෙක් ඔබ අමතයි කියල වැඩ සටහනක්.ඒකට ආපු තරඟකාරයෙක් තමයි ඔය කතාව කිව්වෙ “

පුතාගේ මුණුබුරා සිය ඊළඟ ප්‍රශ්නයද යොමු කළේය .

“හැබැයි සීයෙ ලොකු පොඩි බේදයක් නැතුව හැමෝටම ලෙඩේ හැදුණු නිසා කොරෝනාවෙන් සමාජ සමානාත්මතාවය නම් ඇතිවෙන්න ඇති නේද ?”

“එන්නත් දෙනකොට නම් එහෙම වුණේ නෑ පුතේ”පුතා සිය මුණුබුරාට කියයි. “අඩුකුලේ කට්ටියට පැයගණන් පෝලිම්වල කට්ට කාල රැස්පොට් බලල  ගහගන්න වුණා.වංශවත් ඇත්තො පිටිපස්ස දොරෙන් ගිහින්   රැස්පොට් පිට ගහගත්ත “

මේ වන විට සිය මුණුබුරාගේ ප්‍රශ්නවලින් හෙම්බත් වී සිටි අපේ පුතා එතැනින් යන්නට තනයි .මුණුබුරා ඔහු නවතාගෙන අන්තිම ප්‍රශ්නයද අසයි .

“සීයෙ අන්තිමේ කොරෝනා යුද්දෙ ඉවරවෙච්ච සන්තෝසෙට දෙවෙනි ලෝක යුද්දෙ ඉවරවෙච්ච වෙලාවෙ වගේ මිනිස්සු පාරවල්වල නටන්න ඇති නේද ?”

“මට නම් එහෙම දෙයක් මතක නෑ පුතේ” පුතා කියයි .”හැබැයි කොරෝනා තදේටම තිබිච්ච කාලෙත් මිනිස්සු පාරවල් පුරාම ඬෙගා නැටුව නම් මට මතකයි “

– සුන්දර නිහතමානි ද මැල්