සෘජු බදු ආදායම වැඩිකර ගැනීම සඳහා දුම්වැටි සඳහා මිල සූත්‍රයක් සකස් කර තිබෙන බව දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා පවසයි.

වසරක පමණ කාලයක් තිස්සේ විශේෂඥයින්ගේ මැදිහත්වීමෙන් ඉතා විනිවිදභාවයෙන් යුතු යුතුව එම මිල සූත්‍රය සකස් කළ අතර මේ වන විට එය සෞඛ්‍ය අමාත්‍යවරයාට භාර දී ඒ ගැන සාකච්ජා කර තිබෙන අතර ඉදිරියේදී මේ සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත්වනු ඇති බව රාජපක්ෂ මහතා කියාසිටියි.

ඒ හරහා එය මෙවර අයවැය යෝජනා තුළට මෙය ඇතුල් කරගැනීමට හැකි වුවහොත් එය විශාල ජයග්‍රහණයක් බවද ඔහු සඳහන් කරයි.

මෙලෙස මිල සූත්‍රයක් හඳුන්වා දීමට අදහස් කළේ පසුගිය කාලය තුළ දුම්වැටියේ මිල වැඩි වුවත් අපේක්ෂිත ආදායම වැඩි නොවීම නිසා බව ද රාජපක්ෂ මහතා  කියා සිටියි.

”මිල සූත්‍රයට අනුව දුම්වැටියක මිල 2022 දී වැඩි කර ගැනීමට හැකි වුවහොත් 2022 සිට 2026 දක්වා කාලය තුළ රු. බිලියන 125ක පමණ සෘජු ආදයමක් රජයට ලැබෙනවා. ඒ වගේම තමයි වසරින් වසර දුම්වැටි විකිණීම නිසා ලැබෙන ලාභය 6%කින් සෑම වසරකම වැඩි වෙනවා.” යනුවෙන් සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.