ආනයනික කිරිපිටි මිල ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය ඊයේ පියවර ගැනීමත් සමග දේශීයව නිෂ්පාදනය කරන කිරිපිටි වල මිලත් ඉහළ දැමිය යුතු බව මිල්කෝ සමාගම පවසයි. 

එම සමාගමේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඊයේ (09) පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ දේශීය කිරිපිටි නිෂ්පාදන පිරිවැය ද ඉහළ ගොස් ඇති බැවින් මිල වැඩි කළයුතු බවයි. 

එසේම කිරිපිටි වෙනුවට ආදේශකයක් වශයෙන් දේශීය දියර කිරි පරිභෝජනය සඳහා යොමුවන ලෙස ද ඒ මහතා එහිදී ජනතාවගෙන් ඉල්ලා සිටියේය. 

ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 250කින් ඉහළ නංවන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය ඊයේ නිවේදනය කළ අතර ඒ අනුව කිරිපිටි කිලෝවක නව මිල රු. 1195ක් වේ. කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක නව මිල රු. 480කි. 

මේ අතර ගෑස් මිල වැඩි කෙරෙන ප්‍රමාණය සම්බන්ධයෙන් ද මේ වනවිට සාකච්ඡා පැවැත්වෙමින් පවතින බව වාර්තා වේ. 

ලාෆ්ස් සහ ලිට්‍රෝ සමාගම් මේ සම්බන්ධයෙන් වෙන වෙනම සාකච්ඡා පවත්වන අතර ඒ ඒ සමාගම් මිල වැඩිකිරීම් සිදුකරන ආකාරය පිළිබඳව ඉදිරියේදී මාධ්‍ය හමු පවත්වා ජනතාව දැනුවත් කෙරෙනු ඇති බව සඳහන්.