ජාතික අපනයන රක්ෂණ ගිණුම් වැඩසටහනේ (BC-NEIA) ගැනුම්කරුගේ ණය පහසුකම් යටතේ පොල්ගහවෙල සහ අලුත්ගම ක්‍රියාත්මක කරනු ලබන  ඒකාබද්ධ ජල සැපයුම් ව්‍යාපෘතීන්හි ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා ඉන්දියාවේ අපනයන ආනයන (එක්සිම්) බැංකුවේ තුන් සාමාජික කණ්ඩායමක් 2021 දෙසැම්බර් 07-09 යන දිනයන්හි ශ්‍රී ලංකා සංචාරයක නිරත විය. සාමාන්‍යාධිකාරිනි ශිල්පා වඝ්මෙයා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි මිතලි පෙන්ධර්කාර් සහ ප්‍රධාන කළමනාකරු රන්ජන් රෝයි යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත වූ මෙම කණ්ඩායම 2021 දෙසැම්බර් 9 වන දින ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ශ්‍රී ගෝපාල් බාග්ලේ මහතා හමු වී එම ව්‍යාපෘතීන් සහ තම සංචාරයේ ප්‍රගතිය සම්බන්ධයෙන් එතුමා දැනුවත් කළේය. 

2.     ඉන්දීය එක්සිම් බැංකුව ශ්‍රී ලංකාවේ ව්‍යාපෘතීන් 4ක් සඳහා ගැනුම්කරුගේ ණය වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 441.42ක් මුදලක් ලබා දී ඇති අතර ඉන් ව්‍යාපෘතීන් 2ක් මේ වන විටත් සම්පූර්ණ කර තිබේ. පොල්ගහවෙල සහ අලුත්ගම ක්‍රියාත්මක කරනු ලබන ඒකාබද්ධ ජල සැපයුම් ව්‍යාපෘතීන් දෙක සඳහා ජාතික ජල සම්පාදන සහ ජලාපවහාන මණ්ඩලය වෙත පිළිවෙළින් ඇමරිකානු ඩොලර් මිලියන 91.80ක් සහ 164.90ක් ලබා දී ඇත. පොල්ගහවෙල ව්‍යාපෘතිය VA ටෙක් වබැග් ලිමිටඩ් ආයතනය විසින් ද අලුත්ගම ව්‍යාපෘතිය ඉයොන් එක්ස්චේන්ජ් (ඉන්දියා) ලිමිටඩ් විසින් ද ක්‍රියාත්මක කරනු ලැබේ. ව්‍යාපෘතීන් දෙකම මේ වන විට 90%ක පමණ ප්‍රගතියක් අත්කර ගෙන තිබේ.

3.     ශ්‍රී ලංකා සංචාරය අතරතුර දී එක්සිම් බැංකුවේ පිරිස අලුත්ගම සහ පොල්ගහවෙල ව්‍යාපෘතීන් නිරීක්ෂණය කළ අතර කොන්ත්‍රාත්කරුවන් සමඟ සාකාච්ඡාවක ද නිරත විය. එසේම එම කණ්ඩායම මෙම ව්‍යාපෘතීන් දෙක කඩිනමින් සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය කෙරෙන ඉදිරි කටයුතු සහ වෙනත් කරුණු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහ ජාතික ජලසම්පාදන සහ ජලාපවහාන මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් හමු විය. BC-NEIA වැඩසටහන යටතේ ඉදිරියේදී ක්‍රියාත්මක කළ හැකි ව්‍යාපෘතීන් සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරිණ.

4.     ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරනු ලබන මෙම ව්‍යාපෘතීන් ප්‍රජා කේන්ද්‍රීය ප්‍රමුඛතා ව්‍යාපෘතීන් වේ. ගැනුම්කරුගේ ණය පහසුකම යටතේ දඹුල්ල ප්‍රදේශයේ ජලාශ 9කට ජලය සැපයීම සඳහා වන ව්‍යාපෘතියක් VA ටෙක් වබැග් ලිමිටඩ් ආයතනය විසින් දැනටමත් සාර්ථකව ක්‍රියාත්මක කර තිබේ. 

5.         BC-NEIA වැඩසටහන යනු ඉන්දීය එක්සිම් බැංකුව විසින් යම් යම් ක්ෂේත්‍රයන්හි ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීම සඳහා සෛවරී රාජ්‍යයන්ට සහ ඔවුන් විසින් නම් කරනු ලබන රාජ්‍ය ආයතනයන්ට ලබා දෙන සහනදායි ණය පහසුකමකි. මේ වන විට රටවල් 91ක් BC-NEIA වැඩසටහන යටතේ ධනාත්මක ලැයිස්තුවේ සිටී.

කොළඹ