වර්තමාන ආණ්ඩුව බිහිසුණු සහ අවාසනාවන්ත ඉරණමක් වෙත රට තල්ලුකොට ඇති අතර ඒ සියල්ල මැද මැති ඇමතිවරුන් සුරංගනා ලෝක මවමින් සෞභාග්‍යය පිළිබඳව පුරසාරම් දොඩමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඒ් මහතා පවසන්නනේ ආණ්ඩුව රටේ ජනතාවගේ ජීවිත සමඟ කරන මේ සාපරාධී සෙල්ලම නවතා දැමිය යුතු බවයි.

ඒ මහතා විසින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් දැකිවේ.


• මෙම කන්නයේ වගාවන්ට යෙදීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් සිය ගොවි සංවිධානයට දියර පොහොර කෑන් දෙසීයක් පමණ ලබා දුන් බවත් මේ වනවිටත් ඉන් කෑන් 100ක් පමණ පුපුරා ගොස් දියර පොහොර අපතේ යන බවත් හොරොව්පතාන ගොවි සංවිධානයෙන් වාර්තා වේ. එපමණක් නොව, රට පුරා මේ අන්දමට අදාල පොහොර කෑන් පුපුරා යාමේ සිදුවීම් වාර්තා වන අතර ඒ සියල්ලෙන් ඔප්පු වන්නේ ආණ්ඩුව මොනතරම් නින්දාසහගත ලෙස මෙරට ගොවිජනතාව රැවටීමට ලක්කොට ඇත්ද යන්නයි.

ඔවුන් වෙත ලබා දෙන පොහොර පිළිබඳව කිසිදු ප්‍රමිතියක් , තත්ත්ව සහතිකයක්, විශ්වාසනීයත්වයක්, සහ සෞඛ්‍ය ආරක්ෂිත බවක් නොමැති අතර කොහේ හෝ සිටින ගජමිතුරු කල්ලියකට මේවායේ වාසිය හිමිවන බව නම් සහතිකය. 

• ඉතිහාසයේ කිසිම යුගයක මේ රටේ කිසිදු පාලකයෙක් ගොවි පරපුරට මෙතරම් දුර්භාග්‍ය සම්පන්න ඉරණමක් පත් කොට දී නොමැති අතර ආණ්ඩුවේ මේ දුර්ධාන්ත කටයුත්ත සහ වගකීම් විරහිත තීරණය හේතුකොටගෙන එක් අතකින් රටේ ගොවි පරපුරත්, අනෙක් අතින් රටේ ආර්ථිකයත් දශක ගණනාවකට ගොඩගත නොහැකි ලෙස අගාධයකට ඇද වැටීම වලක්වා ලිය නොහැක.

• වර්තමාන ආණ්ඩුව බලය ලබා ගත් මොහොතේ සිට සිදු කළේ මෙරට පුරවැසි පරපුර පරීක්ෂණාගාර මීයන් බවට පත්කිරීම සහ හිතුවක්කාරි අන්තනෝමතික තීන්දු තීරණ කරලියට ගෙන එමින් සමස්ත රටම බරපතළ අර්බුදයකට තල්ලු කිරීම ය.

• විශේෂයෙන්ම තවදුරටත් මේ රටතුල දිනපතා කොරෝනා මරණ සිදුවන අතර ඒ පිළිබඳව ආණ්ඩුව කිසිදු තැකීමක් නොකරන අතර මේ වනවිටත් කොරෝනා මරණ ප්‍රමාණය 15000ට සමීපවී තිබේ.

• ගෑස් ආශ්‍රිත පිපිරීම් 620 කට අධික ප්‍රමාණයක් ‍රටපුරා වාර්තා වන අතර මේ පිළිබඳව නිෂ්චිත පරීක්ෂණයක් කිරීමට ආණ්ඩුව අපොහොසත්ව සිටී.

• මේ වනවිට ශ්‍රී ලංකාව වෙන්දේසි බිමක් බවට පත්ව තිබේ. වගකීමක් නැති පාලකයින් විසින් මුලු රටම අනතුර වෙත හෙළා තිබේ. විදේශිකයින්ට සහ ගජ මිතුරන්ට ජාතික සම්පත් කුණු කොල්ලයට විකුණා දමමින් මතු පරම්පරාවේ උරුමයන් වනසා දමා තිබේ. 

• දේශීය සම්පත් සියල්ලම පාහේ කුණු කොල්ලයට හිතුමනාපෙට, තමන්ගේ පුද්ගලික බූදලයක් සේ සලකා පිට රටවල් වලට විකුණා දමමින් සිටියදීත් කැබිනට් මණ්ඩලය සිග්නල් කණු බවට පත්ව සිටී.
රටේ බලශක්තිය පිළිබඳව ආරක්ෂාව මේ වනවිටත් පාවා දීමට ආණ්ඩුව කටයුතුකර තිබේ.

මෙවන් බිහිසුණු සහ අවාසනාවන්ත ඉරණමක් වෙත වර්තමාන ආණ්ඩුව රට තල්ලුකොට ඇති අතර ඒ සියල්ල මැද මැති ඇමතිවරු සුරංගනා ලෝක මවමින් සෞභාග්‍යය පිළිබඳව පුරසාරම් දොඩමින් සිටී.

අප මේ මොහොතේ ආණ්ඩුවට අවධාරණය කොට සිටින්නේ ජනතාවගේ ජීවිත සමග කරනු ලබන මේ අමානුෂික බියගුළු පලිගැනීම නවත්වන ලෙසයි.

සජිත් ප්‍රේමදාස 

විපක්ෂ නායක