අද ඇති නෙළුම් පොකුණ කොළඹ ඉදිවන්නට කලින් නෙළුම් පොකුණ මුලින්ම කොළඹට රැගෙන ආවෙ ඔහු. ඒ නාට්‍යයක් වශයෙන්. නාට්‍යකරුවා කපිල කුමාර කාලිංගයි. ඔහු පාසල් වියේ ඉඳන්ම නාට්‍යවලින් තමයි කලා ජීවිතය පටන්ගත්තෙ. නුවර ධර්මරාජයෙන් එළියට ඇවිත් තරුණයෙකු හැටියට නිර්මාණය කළ පළමු නාට්‍යය වුණේ “සුද්දවන්තයෙක් ඇතුළු කීපදෙනෙක්.” ඒ නාට්‍යය වෙනුවෙන් තමයි ඔහුගේ මුල්ම ගී පෙළ රචනා වෙන්නෙ.
1970 දශකයෙ මැද කපිල කොළඹ එන්නෙ පුවත්පත් කලාවේදියෙකු හැටියට ජීවිතය පටන් ගන්න. ඇත්ත පත්තරෙන් පුවත්පත් කලාවට අත්පොත් තබන ඔහු ලේක්හවුසියෙත් පඩිපෙළ නැඟගෙන ගිහින් කෙටි කලකින් ආපහු ආවා. ඒ අවධියෙ තමයි ඔහු “බිංගේ” කියන වේදිකා නාට්‍යය නිර්මාණය කළේ. 80 දශකය මුල “දවස” පුවත්පතේ උපකර්තෘවරයෙකු විදියට වෘත්තිමය ජීවිතය ඇරඹීමත් සමඟ පුවත්පත් කලාවේදියෙකු විදියට යම් ස්ථාවරත්වයක් ඇතිකර ගන්නට ඔහුට හැකියාව ලැබුණා.
ඒ කාලෙ තමයි ගුවන් විදුලියෙ යෞවන සමාජයට කපිල කුමාර කාලිංග සම්බන්ධ වෙන්නෙ. මඩවල එස්. රත්නායක නිෂ්පාදනය කළ මේ වැඩ සටහන මෙහෙයවූයේ මහාචාර්ය විමල් දිසානායක සහ මහානාම දිසානායක වගේ විද්වතුන්. ඒ ඇසුර කපිලටත් හොඳ පන්නරයක් වුණා. ඒ කාලෙ ඔහු ලියූ සන්ත්‍රාස නාට්‍ය පිටපත්වලට ශ්‍රාවකයන්ගෙන් ලැබුණෙ ඉහළ ප්‍රතිචාරයක්. අධ්‍යාපන සේවයේ බාහිර නිෂ්පාදකවරයෙකු විදියට “සංදීපනී” වැඩ සටහන නිෂ්පාදනය කළ ඔහු විචිත්‍රාංග පිටපත් රචකයෙකු වශයෙන් ගුවන් විදුලියට ලබාදුන් දායකත්වය අති විශේෂයි. කපිල කුමාර කාලිංග රචනා කළ “මකරාගේ තානායම” බෙහෙවින්ම ජනප්‍රිය වුණු ගුවන් විදුලි නාට්‍යයක්. පසුකලෙක මේ කතාව ඇසුරෙන් ප්‍රකට සිත්තරෙකු වූ ශාන්ත කේ. හේරත්
“සුහද” පත්තරයට චිත්‍රකතාවකුත් නිර්මාණය කළා. ඊට අමතරව නොබැඳි සමුළුව කාලෙත් ඒ රටවල් කීපයක නාට්‍ය මාලාවක් ගුවන් විදුලිය වෙනුවෙන් කපිල පරිවර්තනය කළේ ශ්‍රාවකයා වෙත නවමු අත්දැකීම් සම්භාරයක් තිළිණ කරමින්.
කපිලගෙ අධිතාත්වික රචනා ශෛලිය බෙහෙවින් සාර්ථක වුණා. ඔහුගෙ ගුවන් විදුලි නාට්‍ය පිටපත්වල තිබුණු අමුත්තත් ඔය අධිතාත්වික ශෛලියයි. ඒ අවධියෙ හොඳ පිටපත් නැති නිසා “වනිතා ලතා” වැඩ සටහනට පිටපත් ලියන්න කියල සුමනා ජයතිලක විසින් කපිල කුමාර කාලිංගටත්, ගාමිණී විජේතුංගටත් ආරාධනා කර තිබුණා. කාන්තා වැඩසටහන් නිසා ඔවුන් එහි පිටපත් රචනා කළේ කාන්තා නම් වලින්. කපිල ලිව්වෙ සිය පෙම්වතිය වූ ඉන්දුමතී ඒකනායකගේ නමින්. අරුමය කියන්නෙ ඒ නම් වලට වවුචර් නිකුත් කරල අදාළ ගෙවීම් ලබා ගන්න ගාමිණීටත්, කපිලටත් ගුවන් විදුලියේ සභාපති රිජ්වේ තිලකරත්නගේ විශේෂ අවසරයක් ලැබී තිබීම. ඒක ගුවන් විදුලි වංශයෙත් ඓතිහාසික සිදුවීමක්.
80 දශකයෙදි තමයි කපිල කුමාර කාලිංග රචනා කළ “සිහින සාප්පුව” නාට්‍යය නීල් අලස් නිෂ්පාදනය කළේ. ඔය “80 කණ්ඩායම” බිහිවෙන්නෙත් “සිහින සාප්පුව” නිපැයුමත් එක්ක. කපිල, නිමල් ඒකනායක, අජිත් ජිනදාස, ගුණසිරි සිල්වා, සුනිල් මිහිඳුකුල බුද්ධදාස ගලප්පත්ති සහ ජයලත් මනෝරත්න වගේ කලා ශිල්පීන් තමයි එහි ආරම්භක සාමාජිකයන් වුණේ.
කපිල පසුව රයිනෝසිරස් (අනුවර්තනය සහ අධ්‍යක්‍ෂණය) නෙළුම් පොකුණ (රචනය සහ අධ්‍යක්‍ෂණය) උක්ඳඩු ගින්න (රචනය) අපි ගෙවන්නෙ නෑ (අධ්‍යක්‍ෂණය) සහතික නොකළ මරණයක් (අනුවර්තනය) සහ බැංකු වීරයා (රචනය සහ අධ්‍යක්‍ෂණය) වැනි විශිෂ්ට නාට්‍ය කෘති රැසක කොටස් කරුවෙකු වෙන්නෙ ප්‍රේක්ෂක සමාජයේ නව කතිකාවන් අවදි කරවමින්. ඒ නිර්මාණ බහුතරයක් වෙනුවෙන් රාජ්‍ය සම්මානයටත් පාත්‍ර වෙනවා.
ඒත් කපිල කුමාර කාලිංග එක තැනක රැඳුණු චරිතයක් නෙවෙයි. විටෙක ටෙලි නාට්‍ය පිටපත් රචකයෙකු වූ හෙතෙම තවත් විටෙක වෙළෙඳ දැන්වීම් රචකයෙක්. JWT ආයතනයේ ජ්‍යෙෂ්ඨ පිටපත් රචකයෙකු වූ ඔහු Phoenix, Network advertising සහ සැලසිනේ යන ආයතනවල නිර්මාණ අධ්‍යක්‍ෂවරයාද වුණා. ඒ සියල්ලටම වඩා සාහිත්‍යවේදියෙකු ලෙස ඔහු තැබූ සලකුණ ප්‍රබලයි.
නිමල් ආරියරත්න, එච්. එම්. වංශා, නවරත්න අබේකෝන් වගේ මහනුවරම මුල්කරගත් ගායන ශිල්පීන් සඳහා ගීත ලියූ කපිලට පළමුවරට EP තැටියක් සඳහා ගීත ලියන්න අවකාශ සැලසෙන්නෙ ස්ටැන්ලි පීරිස්ගේ සංගීතයට. ගායිකාව වුණේ සුජාතා අත්තනායක. ගීතය තමයි “දෑසේ අංජන තවරා”. ෆෝචූන්ස් සංගීත කණ්ඩායම ආරම්භ කළ කාලෙ බොහෝ පුහුණුවීම් කෙරුවෙ නුවර සෙවණ රෙකෝඩ් බාර් එකේ. එතකොට හැන්දෑවට සුහද මිතුරන් මුණ ගැහෙන රසික හමුවකුත් එතැන ඉබේම නිර්මාණය වෙනවා. එහෙම රසික හමුවක් අතරෙදි කපිලට ලියවුණා නවමු හැඩයෙ පෙම් ගීයක්. කපිලගෙ බිරිඳ එතකොට ඔහුගෙ පෙම්වතිය. ඒ ප්‍රේමණීය හැඟීම් ඇසුරෙන් තමයි මේ ගීයෙ පද ගෙත්තම් වුණේ. ඔහු ඒක යොමු කළා ගුවන් විදුලියෙ “සොඳුරු සෙවණ” ට.
80 දශකයෙ ජාතික ගුවන් විදුලියෙ “සොඳුරු සෙවණ” අතිශයින්ම ජනප්‍රියයි. දිනපතා ප්‍රචාරය වූ මේ වැඩ සටහනේ එක දවසක නිෂ්පාදකවරයා වුණේ ජනප්‍රිය නිවේදක අමර ගුණසේකර. එහි “කල්පනා ගීතය” නම් වූ විශේෂාංගයක් තිබුණා. ඒක කළේ කපිල කුමාර කාලිංග. ඔහුගේ ගී පද මාලාවක් අරන් තනුවක් යොදල තනි වාද්‍ය භාණ්ඩයක් එක්ක හරි “කල්පනා ගීතය” ට ඉදිරිපත් කෙරුණා. එදා දවසෙ ගුවන් විදුලි පරිශ්‍රය තුළ මුණගැහෙන සංගීතඥයෙකු ලවා අදාළ පදමාලාව සංගීතවත් කර යම් ගායකයෙකු ලවා ගායනා කරවීමයි සාමාන්‍ය සිරිත වුණේ. කපිල කුමාර කාලිංග ප්‍රේමාන්විතව ලියපු අර ගී පද පෙළ අමර ගුණසේකර අතට පත්වුණාම ඒක දීල තිබුණා එඩ්වඩ් ජයකොඩිට.
එඩ්වඩ් ඒ කාලෙ නිතර ගුවන් විදුලියට යනව එනව විවිධ වැඩසටහන්වල කවි ගායනා කරන්න. අමරෙත්, එඩ්වඩුත් කුළුපග මිත්‍රයො. කොටින්ම අමර ගුණසේකරගෙ විවාහ මංගල්‍යයේ දෙවන මනමාලයා වුණෙත් එඩ්වඩ් ජයකොඩි. ඉතින්, එදා ගුවන් විදුලි කොරිඩෝවෙදි අමරෙට එඩ්වඩ් මුණ ගැහෙනවා. හවස 3 ට තමයි සොඳුරු සෙවණ ප්‍රචාරය වෙන්න තිබුණෙ. 2 ට විතර අමරෙ, එඩ්වඩ්ට දෙනව ගී පද ටික.
“මචං, මේකට මෙලඩියක් දාමු….”
සාම්ප්‍රදායික කවි ආකෘතියෙන් මිදුණු නිදහස් ගීයක් විදියටයි ඒක රචනා කරල තිබුණෙ.
වසන්තයේ අග හමුවෙමු සොඳුරියෙ
ළවැලි තලාවක විසුළ කුසුම් මත
අතිනත ගෙන පෙර නොකී කතා අසා
අලුතින් සුසුමක් ගෙන වෙන් වී යමු
ළා සඳු නැගෙනා හෝරාවේ….
හෘදයාංගම ප්‍රේම ගීයක්. එඩ්වඩ් මැදිරියෙ ඉදන්ම තනුව නිර්මාණය කළා.
කපිලගෙම හඬින් ඉදිරිපත් කෙරුණු පූර්විකාවක් එක්කයි “සොඳුරු සෙවණෙ” ගීතය ප්‍රචාරය වුණේ. ඒක සජීව ලෙස ඉදිරිපත් කෙරෙන්නක් නිසා තැටි කැපීමකුත් නෑනෙ. ඒ සිදුවීම එතනින් ඉවරයි.
ඊට ටික කලකට පස්සෙ එඩ්වඩ්ගෙ දෙවෙනි සරල ගී වැඩ සටහන සඳහා දින නියම වෙලා තිබුණ. වසන්තයේ අග ගීතයේ යම් විශේෂත්වයක් තියෙනවා කියල හිතුණ නිසා ඔහු ඒ ගීයත් සරල ගී සඳහා තෝරගත්තා. එහි තනුව සඳහා ඒකල වයලින් වාදනයක් සහ ඒකල සිතාර් වාදයනයක් තමයි ප්‍රමුඛ කර ගත්තේ. සාමූහික වයලින් නාදය මතු කරන්නෙ එහි අළුවෙන් නෙවෙයි. පිසිකාටෝ (Pizzicato) ක්‍රමයට. සරලව කිව්වොත් ඇඟිල්ලෙන් තත් උදුරන විදියට. එඩ්වඩ් තමන්ගෙම කටහඬට අනුකූල වෙන විදිහට සංගීත නිර්මාණයෙ නාද මාලාව කළමනාකරණය කරගෙන ගීය පටිගත කළා. සරල ගී වැඩ සටහන ප්‍රචාරය වුණේ හරියටම 1981 ජුනි 15 වන දා රාත්‍රි 7. 45 ට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙ සිංහල පළමු වන සේවයෙන්. ඒ කාලෙ ශ්‍රාවකයන් ගුවන් විදුලි සරල ගී පවා බොහොම අභිරුචියෙන් ඇහුවා. තැටි ගතවුණු ගීතය නිරන්තරයෙන් ගුවන් විදුලියෙන් ප්‍රචාරය වුණා. ඒ කාලෙ ගුවන් විදුලි නිවේදකයනුත් හොඳ ගීයක් හමුවුණාම එයාලගෙ වැඩ සටහන් වලින් ප්‍රචාරය කරනව. මේ ගීතයෙ තියෙන සෞන්දර්යාත්මක ගුණය නිසාම ඒක ඉක්මනට ජනප්‍රිය වුණා.
ඒ වෙනකොටත් එඩ්ඩඩ් ජයකොඩිගෙ පළමු වන කැසට් පටය “සීතල පිනි මත” තරංගා ලේබලයෙන් නිකුත් කරලයි තිබුණෙ. ඔහුගේ දෙවන කැසට් පටය “කැරකෙන රෝදේ” සුනේත්‍රා ට්‍රේඩ් සෙන්ටර් ඉදිපත් කිරීමක්. ඒ කැසට් පටයට තමයි “වසන්තයේ අග” ජනප්‍රිය ගුවන් විදුලි ගීතය ඇතුළත් වුණේ. ගීතය නිර්මාණය වුණු අවදියෙ ඉඳන් අද වෙනකල්ම ඊට රසික ප්‍රසාදය නොඅඩුව ලැබුණා. හැම ප්‍රේමවන්තයෙකුගෙම හිත්වල නලියන හැඟීම මේ ගීයෙන් ප්‍රකාශ වන නිසා රසිකයන් එය තමන්ගෙ අත්දැකීමක් කර ගත්තෙ නිතැතින්.
ප්‍රකට විද්වතෙකු වූ මහාචාර්ය කාලෝ ෆොන්සේකාගෙ අදහස වුණේ එදා මෙදා තුර එඩ්වඩ් ජයකොඩි ගැයූ ගීත අතරින් සිය සිත් පැහැරගත් එඩ්වඩ්ගෙ විශිෂ්ටතම ගීතය “ වසන්තයේ අග හමුවෙමු සොඳුරියෙ” බවයි. එඩ්වඩ්ගෙ “මාරම්බරී” පොතට ලිපියක් ලියමින් ඔහු ඒ බව දක්වා තිබෙනවා. ඊටම වෙනත් ලිපියක් ලියන සංගීතවේදී වික්ටර් රත්නායක මේ ගීතය ඔසවා තැබුවෙ වෙනම තලයකට. ඒ, මෙහෙමයි.
“තවත් සුවිශේෂී වූ එඩ්වඩ්ගෙ ඉමිහිරි තනුවක් මගේ සවන් දොරටුවෙන් ඇතුළුව හදවත් කුටිය සිසාරා චිත්තරූප මවමින් චමත්කාර මනෝ ලෝකයක් මවන්නට විය. ඒ ඉමිහිරි ගීය වූයේ කපිල කුමාර කාලිංග විසින් ලියා එඩ්වඩ් විසින්ම තනු නිර්මාණය කොට ගයන “ වසන්තයේ අග” නම් ගීයයි. මේ ගීය අසන අසන වාරයක් පාසා ම කැඳවා යන්නේ, හෙළයේ මහා සංගීතවේදී අමරදේවයන්ගේ ගී තනු රාවයෙන් අලංකෘත වූ ඒ මහා කලාගාරයටයි. රසික හද කන්කලු ස්වර සංගතියෙන් ගෙත්තම් කරන එය තව තවත් උද්දීප්තියට පත්කරන රස භාවයන්ගෙන්, සිත් බඳුන් උතුරුවාලන ඒ සොඳුරු නාමයටයි. ගේයපද රචනාව නොයෙක් වර්ණයන්ගෙන් සම්මිශ්‍රණය වූ පුෂ්ප තටාකයක් නම්, අමරදේවයන් ගී තනුව නැමති මාලාදාමයට ඒවා අමුණනන්නේ කිසියම් සිතුවමක් ගෙත්තම් කරන ආකාරයෙනි. එඩ්වඩ් ඒ ක්‍රියාදාමයේ අතිසියුම් රසෝද්දීප්තිය මනාව පරිශීලනය කළ බවක් උක්ත ගීතය ශ්‍රවණය කිරීමේදී මට දැනිණි.”
© නිලාර් එන්. කාසිම්https://www.youtube.com/embed/t3KdLhehTP4
පෙර ලිපි:
ඉසුරු දෙවිඳු උමයංගන සේ පෑහෙන්නයි
இணைந்திருங்கள்