ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතාව ඔවුන් දැරූ කැබිනට් අමාත්‍ය ධුරවලින් ඉවත් කෙරුණේ පෙරේදා (03) දිනයේ දී ය.

ආණ්ඩුවේ ක්‍රියාකාරකම්වලට එරෙහිව දැඩි විවේචන එල්ල කරමින් ඔවුන් ගෙනගිය වැඩපිළිවෙල අනුව ඔවුන්ව ඕනෑම මොහොතක තනතුරුවලින් ඉවත් කෙරෙන තත්වයක් මීට පෙරත් පැනනැඟී තිබුණු නමුත් ඒ පිළිබඳ ප්‍රශ්න කිරීමේදී ඔවුන් එදා පැවසුවේ තමන් සිටින්නේ තනිවම නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු තවත් පක්ෂ 11ක් සමග බවත් තමන්ව ඉවත් කිරීමට ගියහොත් එම පක්ෂ ද දේශපාලන තීන්දුවක් ගනු ඇති බවත් ය.

කෙසේවෙතත් ඔවුන් දෙදෙනා අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීමෙන් අනතුරුව ඊයේ (04) මාධ්‍ය හමුවක් පවත්වමින් ඔවුන් සමග එම පක්ෂ 11 ඇල්මැරුණු විරෝධයක් ආණ්ඩුවට එල්ල කළා විනා කිසිවෙකු තම තමන්ගේ තනතුරුවලින් ඉල්ලා අස්වූයේ නැත. විමල් හා ගම්මන්පිල සමග එකටම දේශපාලන ක්‍රියාමාර්ගවල සිටි වාසුදේව නානායක්කාර කැබිනට් අමාත්‍යවරයා පවා කීවේ තමන් ඇමති ධුරයෙන් ඉවතුත් නොවෙන, ඇමති ධුරයේ වැඩත් නොකරන අමුතු කතාවක් විනා සෘජු ක්‍රියාමාර්ගයක් ගැන නොවේ.

ඒවා නම් අවස්ථාවාදී දේශපාලන සන්ධානවල ස්වභාවය යැයි කියා අත්හැර දැමිය හැකි නමුත් ඊටත් එහා ප්‍රශ්නය වන්නේ විමල්ව අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට විරෝධය පාමින් ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක ජයන්ත සමරවීර මහතා හෝ තමන් දරණ “ගුදම් පහසුකම්, බහාලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන” රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් නොවීම ය.

තමන්ව අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම අවලස්සන ඇමරිකානුවෙකුගේ කුමන්ත්‍රණයක් වශයෙන් විමල්ලා හැඳින්වුවත් ඊට එතරම් වටිනාකමක් දෙන්නට ඔහුගේම පක්ෂයේ නියෝජ්‍ය නායකයා පවා සූදානමක් නොමැති බවකි මෙයින් පෙන්නුම් කෙරෙන්නේ. ජයන්ත සමරවීරට තම පක්ෂයේ නායකයාටත් වඩා, මෙතෙක් බෑඟිරි ගෑ ඇමරිකානු විරෝධී දේශප්‍රේමයටත් වඩා ගුදම් පහසුකම් රාජ්‍ය අමාත්‍ය ධුරය ලොකුවී ඇති බවක් පෙනේ.

එකට කෑවත් බොක්ක වෙනස් කියන්නේ මේවාට ය …

අවසානයේ විමල්ට කැබිනෙට්ටුවෙන් එළියට වීසි වීමට සිදුවන්නේ 69 ලක්ෂයේ ජනතා බලවේගයෙන් ලොකු කෑල්ලක් තබා තමන්ගේම පක්ෂයේ, තමන්ගේ හොඳම ගෝලයාවත් තමන් සමග නැති බවත් අවබෝධ කරගෙනය !