සංචාරක කර්මාන්තයේ ගැටලු කඩිනමින් නිරාකරණයට ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

 සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරමින් 2023 අපේක්ෂිත ඉලක්ක සපුරා ගැනීමට කඩිනම් වැඩපිළිවෙළක් ඔස්සේ කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ සංචාරක ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු සහ එහි ප්‍රවර්ධනයට ගත යුතු පියවර පිළිබඳ සොයා බැලීමට (20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ය.
2023 වසර වන විට සංචාරකයන් අටලක්ෂ පනස්දහසක් මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන බවත්, එම සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් පුළුල් කිරීම තුළින් ඉදිරියේ දී මෙරටට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ නංවා ගත හැකි බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

විදේශීය ප්‍රවර්ධන කටයුතු සඳහා අරමුදල් ප්‍රේෂණය කිරීම, ශ්‍රී ලංකාව පිළිබඳ පවතින සෘණාත්මක ආකල්ප තුරන් කිරීම සඳහා ගත යුතු පියවර සහ සංචාරක කර්මාන්තයට එල්ල වී ඇති බලපෑම් පිළිබඳ මෙහිදී පුළුල් ලෙස සාකච්ඡාවට ලක් කෙරිණි.

විදේශීය ගුවන් යානා ගොඩබැස්වීමේ දී අය කෙරෙන ඉහළ ගාස්තු හේතුවෙන් සංචාරක කර්මාන්තයට අයහපත් බලපැමක් එල්ල වී ඇති බව මෙහිදී නිලධාරීන් පෙන්වා දුන් අතර ඒ පිළිබඳ සොයා බලා එම ගැටලුව විසඳීමට කඩිනම් ක්‍රමවේදයක් සකස් කරන ලෙස ජනාධිපතිවරයා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාට උපදෙස් දුන්නේය.

මෙහිදී අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කර සිටියේ මෙරටට පැමිණෙන සංචාරකයන් සඳහා ඔවුන්ගේ සමස්ත සංචාරය ආවරණ කෙරෙන ජංගම දුරකථන යෙදවුමක් (Mobile App) 2023 ජනවාරි මාසයේ සිට හඳුන්වාදීමට සංචාරක අමාත්‍යාංශය පියවර ගන්නා බවයි.

බොහෝ සංචාරක හෝටල් රාත්‍රී 10.00 වන විට වසා දැමීම සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට බාධාවක් වන බැවින් ගැසට් නිවේදනයක් මගින් සංචාරක කලාප නම් කිරීමට පියවර ගන්නා ලෙස ද අමාත්‍යවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් තවදුරටත් ඉල්ලා සිටියේය.

ඉන්දියානු සිනමා පට මෙරටදී රූගත කිරීම සඳහා පහසුකම් සලසාදීම තුළින් සංචාරක කර්මාන්තයට ලබාගත හැකි ප්‍රතිලාභ පිළිබඳව ද අවධානය යොමු විය.

කීර්තිනාමයක් දිනාගත් පාපැදි ශූරයන්ගේ සහභාගීත්වයෙන් පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා පාපැදි සවාරියක් සංවිධානය කිරීම, Visit Sri Lanka වැඩසටහන ඇතුළු සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් අමාත්‍යාංශය ක්‍රියාවට නංවා ඇති වැඩසටහන් රැසක් පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කෙරිණි.

සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් චූලානන්ද පෙරේරා යන මහත්වරු සහ සංචාරක ක්ෂේත්‍රයට අදාළ රේඛීය ආයතනවල ප්‍රධානීහු ද, සංචාරක සන්නාම තානාපති සනත් ජයසූරිය මහතා ඇතුළු පිරිසක් සාකච්ඡාවට එක්ව සිටියහ.