රට බේරාගන්නවා යැයි පවසමින් බලයට පැමිණි වත්මන් ආණ්ඩුව කඩිමුඩියේම රට වෙන්දේසි කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. 

“දැන් අපට අහන්නට ලැබෙනවා සමහරු කියනවා මේ වරාය නගර ව්‍යාපෘතිය මේ රටේ හැරවුම් ලක්ෂ්‍යයක් ලු. මං අහන්න කැමතියි කොහොමද විදේශීය රටකට වහල් වුණු වරාය නගරයක් නිර්මාණය කරන එක ශ්‍රී ලංකා මාතෘ භූමියේ හැරවුම් ලක්ෂ්‍යයක් වෙන්නෙ ? මොකද්ද හැරවුම් ලක්ෂ්‍යය ? මේක හැරවුම් ලක්ෂ්‍යයක් නෙවෙයි මේක පාවාදෙන පියවරක්. රට වහල්භාවයට ලක්කරන පියවරක්. මේ රට විදේශීය රටවල්වලට යටත් කරන පියවරක්. 

අද අපේ රට විදේශීය රටවල්වලට වෙන්දේසි කරන තත්වයකට ක්‍රියාත්මක වෙලා තියෙන්නෙ. එක පැත්තකින් වරාය වෙන්දේසි වෙනවා. තවත් පැත්තකින් අපේ භූමිය වෙන්දේසි වෙනවා. තවත් පැත්තකින් වරාය නගරය වෙන්දේසි වෙනවා. තවත් පැත්තකින් අපේ කෘෂිකාර්මික ඉඩම් වෙන්දේසි වෙනවා. බහුජාතික සමාගම් සමග එකතුවෙලා විදේශීය රටවල් අපේ රට බිලිගන්නවා. හැබැයි මේ ආණ්ඩුව පත්වුණේ මේ රට බේරාගන්නවයි කියලා. දැන් බේරාගන්නවා නෙවෙයි ලහිලහියේ අපේ රට ඉක්මන් වෙන්දේසියකට ලක්කරලා තුට්ටු දෙකට රටේ සම්පත් විකුණමින් පවතින යුගයයි අද ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (17) හම්බන්තොට ප්‍රදේශයේදී මාධ්‍ය අමතමිනි.