රසායනික පොහොර භාවිතය සම්පූර්ණයෙන්ම අත්හිටුවා කාබනික පොහොර පමණක් භාවිතයෙන් වගා කටයුතු කළහොත් අස්වැන්න 21% – 31% අතර ප්‍රමාණයකින් අඩුවනු ඇති බවට බතලේගොඩ කෘෂි පර්යේෂණ ආයතනය විසින් වසර 10ක් තිස්සේ කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇති බවත් එය දැන දැනම වත්මන් ආණ්ඩුව රසායනික පොහොර තහනම ක්‍රියාත්මක කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. 

“දැන් බලන්න ඒගොල්ලොන්ගෙ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන්න කාබනික පොහොර භාවිතය ක්‍රමිකව අවුරුදු 10ක් තුළ ඉදිරිපත් කරනවා කියලා. නමුත් හිටියේම රටේ ජනතාවගේ සෞඛ්‍ය ගැන ලොකු හැඟීමක්, කණගාටුවක් ආණ්ඩුවට ඇවිල්ලා එකවරම රසායනික පොහොර තහනමක් දැම්මා. මිත්‍රවරුනි, ඔබතුමන්ලා දන්නවාද බතලේගොඩ පරීක්ෂණයක් කරලා තියෙනවා අවුරුදු 10ක පරීක්ෂණයක්. එහි වාර්තාව එළිදක්වලා තියෙනවා. ඒ වාර්තාවෙ කියනවා රසායනික පොහොර භාවිතා නොකොට කාබනික පොහොර විතරක්ම භාවිතා කළොත් අස්වැන්න 21% – 31%ක් අතර අඩුවක් සිදුවෙනවායි කියලා. මේ මම නෙවෙයි කියන්නෙ, කෘෂි විද්‍යාඥවරු. මේ අද ඊයෙ නෙවෙයි ඒගොල්ලො කියන්නෙ අවුරුදු 10ක පරීක්ෂණයක් කරලා, එක වගාබිම් ප්‍රමාණයක් රසායනික පොහොර දාලා වගාකරලා තවත් වගාබිම් ප්‍රමාණයක් කාබනික පොහොර දාලා වගාකරලා වසර 10ක අත්දැකීම් තුළ කෘෂි විද්‍යාඥවරුන් කියනවා කාබනික පොහොර විතරක් භාවිතා කළොත් අස්වැන්න 21% – 31% අතර ප්‍රමාණයකින් පහත වැටෙනවා කියලා. 

එහෙම පර්යේෂණ වාර්තා තියෙද්දී ආණ්ඩුව තීන්දු කරනවා රසායනික පොහොර තහංචියට. දැන් ඊයෙ පෙරේදා තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් නෙවෙයි රාවයක් යැව්වා ආපහු අවසර දෙනවැයි කියලා. මං හිතන්නෙ පැය 24ක් 48ක් ගියෙ නෑ, ජනාධිපති කාර්යාලයෙන් නිවේදනයක් දැම්මා රසායනික පොහොර තහනම ගැන ගත්තු තීන්දුවේ කිසිම වෙනසක් නෑ කියලා” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (07) තිස්සමහාරාම ප්‍රදේශයේ පැවති වැඩසටහනක් අමතමිනි.