මේ වෙද්දී ඩොලරයක මිල රජයේ හා මහ බැංකුවේ පාලනයෙන් ගිලිහී ඇති බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන කරුණක්. මහ බැංකුවට අනුව ඩොලරයක මිල රුපියල් 203 කට වඩා අඩු වුවත් පෞද්ගලික බැංකුවල ඩොලරයක් විකිණෙන්නේ රුපියල් 226-232 අතර පරාසයකයි. බැංකුවලින් පිට කොටුවේ මිල ඊටත් වැඩියි. මෙවැනි තත්ත්වයක් මෑත ඉතිහාසයේ මීට පෙර දැකිය හැකි වූයේ නැහැ.

ප්‍රශ්නයට මුල පසුගිය රාජපක්ෂ දශකය තුළ දිගින් දිගටම විදේශ ණය ගනිමින්, එසේ ගත් විදේශ විණිමය දේශීය වෙළඳපොළට මහා පරිමාණයෙන් පොම්ප කරමින්, කෘතීම ලෙස රුපියලේ විදේශීය අගය එහි නියම අගයට වඩා පහළ මට්ටමක පවත්වා ගැනීමයි. බොහෝ දෙනෙක් රාජපක්ෂ ණය ගැන කතා කළත්, වඩා බරපතල සැබෑ ප්‍රශ්නය වූයේ එම ණයවල උදවුවෙන් ඩොලරය පාලනය කිරීමයි. මෙහි ප්‍රතිඵල මේ වෙද්දී ලැබෙමින් පවතිනවා.

රාජපක්ෂ දශකයේ සාර්ව-ආර්ථික දර්ශක පරීක්ෂා කරන අයෙකුට වැරැද්දක් හොයා ගන්න ලේසි නැහැ. හැම දෙයක්ම ඉතා හොඳින් තිබුණු බවයි සංඛ්‍යාලේඛණවලින් පෙන්වන්නේ. ඇතැම් අය කියන විදිහට මේ සංඛ්‍යාලේඛණ බොරු නෙමෙයි. සංඛ්‍යාලේඛණවලින් පෙනෙන්නේ ඇස් බැන්දුමක් වුවත්, ඒ ඇස් බැන්දුම සැබෑ ලෝකයේද දැකිය හැකි වූ දෙයක්. එහෙත්, රාජපක්ෂ දශකයේ දැකිය හැකි වූ ආශ්චර්යය, දැකිය හැකි වූ සෞභාග්‍යය, බොහෝ දුරටම වැල්ලේ තැනූ මාලිගාවක්. මාලිගාව කිසිදු අඩුපාඩුවක් නැතිව ඉතා හොඳින් හදා තිබුණත් එය හදා තිබුණේ ලොකු රැල්ලක් පැමිණි වහාම බිඳ වැටෙන අයුරිනුයි. 

ආණ්ඩු මාරුවක් සිදු නොවුනා නම් මාලිගාව කඩා වැටෙන්නේ 2016 පමණ කාලයේදී. එහෙත්, යහපාලන ආණ්ඩුව කෙසේ හෝ රැල්ල වලකා, මාලිගාවට මුක්කු ගසා, ප්‍රශ්නය වසර කිහිපයක් ඉදිරියට තල්ලු කළා. දැන් රැල්ල ඇවිත්. මාලිගාව කඩා වැටෙන්න පටන් අරන්.

ඩොලරය පහළින් තබා ගැනීම රාජ්‍ය ණය ප්‍රශ්නයටද වඩා බරපතල ප්‍රශ්නයක් බව මා කියන්නේ ඇයි ? මේ හරහා රජය විසින් රජයෙන් බාහිර පාර්ශ්වයන්ටද ලෝකයට ණය වෙන්නට සෘජු හා වක්‍ර බලපෑමක් කළා. විශේෂයෙන්ම 2008 න් පසුව ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළවල පොලී අනුපාතික තිබුණේ ඉතාම පහළ මට්ටමකයි. ලංකාවේ පොලී අනුපාතික ඊට වඩා ඉහළින් තිබුණා.

උදාහරණයක් විදිහට ලංකාවේ පොලී අනුපාතිකය 7% ලෙසත්, ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළෙහි ඩොලර් පොලී අනුපාතිකය 2% ලෙසත් සලකමු. මේ වගේ අවස්ථාවක ඩොලර්වලින් ණය ගෙන රුපියල්වලින් ආයෝජනය කරන අයෙකුට 5% ක ලාබයක් ලැබිය හැකියි. එහෙත්, රුපියල අදාළ කාලය තුළ 5% කින් අවප්‍රමාණය වුනොත් එම ලාබය ලැබෙන්නේ නැහැ. 

සාමාන්‍යයෙන් පවතින හා පැවති තත්ත්වය ඉහත ආකාරයේ තත්ත්වයක්. ලංකාවේ රුපියල් පොලී අනුපාතික ඩොලර් පොලී අනුපාතිකවලට වඩා වැඩි වුවත් ඩොලරයක අගය ඉහළ යාමෙන් එම වෙනසේ වාසිය නිශේධනය වන නිසා ඩොලර්වලින් ණය වී රුපියල්වලින් ආයෝජනය කර ලාබ ගැනීමේ හැකියාවක් තිබුණේ නැහැ. ලංකාවේ රජය හා මහ බැංකුව විසින් ඩොලරයේ මිල ස්ථාවරව තබන බව ප්‍රකාශ කිරීමෙන් හා ඒ බව ක්‍රියාවෙන් පෙන්වීමෙන් මේ තත්ත්වය වෙනස් කළා. ඒ එක්කම, ලංකාවේ බැංකු හා වෙනත් ඇතැම් සමාගම් ඩොලර්වලින් ණය වී රුපියල්වලින් රාජ්‍ය සුරැකුම්පත්වල ආයෝජනය කරන්න පෙළඹුණා. මෙය ඉංග්‍රීසියෙන් හැඳින්වෙන්නේ “carry trade” ලෙසයි.

දැන් මේ වැඩෙන් වෙන්නේ කුමක්ද ? වාණිජ බැංකු හා සමාගම් ඩොලර්වලින් ලෝකයට ණය වෙනවා. රජය මේ වාණිජ බැංකු හා සමාගම්වලින් රුපියල් ණය ගන්නවා. අන්තිමට වක්‍ර ලෙස සිදු වන්නේ රජය ලෝකයට ණයවීමක්ම වුවත්, මෙහිදී රජයෙන් බාහිර පාර්ශ්වද අවදානමක වැටිලා. රජයේ සංඛ්‍යාලේඛණ බැලුවොත් පෙනෙන්නේ දේශීය ණය. එහෙත්, ඇත්තටම මේ ණයත් විදේශීය ණය.

මහ බැංකුව ඇතුළේ මේ වෙද්දී යම් වෙනසක් සිදුවෙමින් පවතින බව පේනවා. මා එසේ කියන්නේ බාහිර නිරීක්ෂකයෙකු ලෙස මට පෙනෙන දේවල් අනුවයි. මහ බැංකුව ඇතුලෙ මගේ පෞද්ගලික මිතුරන් ගණනාවක් සිටියත් මම ඔවුන් සමඟ සාමාන්‍යයෙන් කතා කරන්නේවත් නැති තරම්. මා මෙහි ලියන දේවල් ලියන්නේ පොදු අවකාශයේ තිබෙන තොරතුරු මත පදනම්වයි. ඒ හැර, කිසිදු ආයතනයකින් මා අභ්‍යන්තර තොරතුරු ලබා ගන්නේ නැහැ. 

ලංකාවේ මහ බැංකුවට රජයෙන් ස්වායත්තව කටයුතු කළ නොහැකි බව ප්‍රචලිත කරුණක්. ඕනෑවට වඩා ස්වාධීන වෙන්න ගියොත් මහ බැංකු වෘත්තිකයෙකුට තමන් විසින් කරන යම් සාධනීය දෙයක් වුනත් කරන්න තිබෙන ඉඩ අවහිර වෙන්න පුළුවන්. ඒ වගේම, මහ බැංකුව ඇතුළේ තමන්ගේ පැවැත්ම තර්ජනයට ලක් වෙන්න පුළුවන්. හැබැයි රජයට අවශ්‍ය සේ වැඩ කිරීමෙන් මහ බැංකුවේ පැවැත්මම අභියෝගයට ලක් වුවහොත්, එහි සේවකයින්ට කොහොමටත් පැවැත්මක් නැති වෙනවා. දේශපාලන පත්වීම් ලබන අධිපතිවරුන්ට මෙය ප්‍රශ්නයක් නොවුනත්, මහ බැංකුවේ පැවැත්මම අභියෝගයට ලක් වූ විට එහි අවශේෂ සේවකයින්ට රජයේ පැවැත්ම අමතක කර මහ බැංකුවේ පැවැත්ම ගැන හිතන්න වෙනවා. මම හිතන්නේ දැන් මේ වගේ හැරවුම් ලක්ෂ්‍යයක් දක්වා අර්බුදය තල්ලු වෙලා.

පසුගිය ජූනි මාසය තරම් මෑතකදී මහ බැංකුව විසින් “තම ව්‍යාපාරික ශක්තීන් උපරිම වශයෙන් යොදා ගනිමින්” පිටරටින් ඩොලර් ණය අරගෙන, ඒ ඩොලර් රජයට ණය ලෙස දෙන මෙන් පෞද්ගලික අංශයෙන් ඉල්ලා සිටියා. මෙය ගිලී මැරෙන්න යන රජය බේරා ගැනීම සඳහා වතුරට පැන මැරෙන සේ සෘජුවම කළ ආරාධනයක්. කිසියම් පෞද්ගලික ආයතනයක් මහ බැංකුවේ ඉල්ලීමට සවන් දුන්නේ නම් දැන් වෙන්න තිබෙන හරිය වෙලා. වාණිජ බැංකු ටික නම් කලින්ම ඔය උගුලේ අහුවෙලයි හිටියේ.

පහළින් තිබෙන්නේ පසුගිය මාස කිහිපය තුළ බැංකු පද්ධතියේ ශුද්ධ විදේශ වත්කම් වෙනස් වූ ආකාරයයි. වරහන් තුළ තිබෙන්නේ සෘණ අගයන්.

2021 අප්‍රේල් අවසානයේදී:
මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම්: රුපියල් බිලියන 349.1 
වාණිජ බැංකුවල ශුද්ධ විදේශ වත්කම්: රුපියල් බිලියන (778.0)
බැංකු පද්ධතියේ ශුද්ධ විදේශ වත්කම්: රුපියල් බිලියන (428.9)

 2021 ජූලි අවසානයේදී:
මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම්: රුපියල් බිලියන 10.3 
වාණිජ බැංකුවල ශුද්ධ විදේශ වත්කම්: රුපියල් බිලියන (709.6) 
බැංකු පද්ධතියේ ශුද්ධ විදේශ වත්කම්: රුපියල් බිලියන (699.4) 

රජය වගේම ලංකාවේ බැංකු පද්ධතියත්, විදේශ සංචිත පැත්තෙන් බැලුවොත්, බංකොලොත් වී අවසන්. ටික කලක සිටම බැංකු පද්ධතිය සතු විදේශ වත්කම්වලට වඩා විදේශ බැරකම් වැඩියි. තෙමසක් ඇතුළත බැංකු පද්ධතියේ විදේශ වත්කම් හිඟය (එහි රුපියල් අගය) රුපියල් බිලියන 428.9 සිට රුපියල් බිලියන 699.4 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මහ බැංකුව ධන පැත්තේ ඉන්නේ යාන්තමින්. තව සුළු අඩුවක් වුවහොත් මහ බැංකුවත් සෘණ පැත්තට යනවා.

මේ සංඛ්‍යාලේඛණ ඇසුරෙන් වාණිජ බැංකුවල ඩොලරයක මිල මහ බැංකුවේ පාලනයෙන් මිදී ඉහළ යන්නේ ඇයි කියන එක පහසුවෙන් පැහැදිලි කළ හැකියි. 2021 ජූලි අවසානයේදී වාණිජ බැංකුවල ශුද්ධ විදේශ බැරකම් ප්‍රමාණය රුපියල් බිලියන 709.6 ක්. සරලව කිවුවොත්, මෙයින් අදහස් වෙන්නේ ලංකාවේ බැංකුවල තැන්පත් කර තිබෙන ඩොලර් ගිණුම් හිමියන්ගේ තැන්පතු මුදල් ආපසු ගෙවීම (හෝ එවැනි වෙනත් බැරකම්) සඳහා පමණක් බැංකු වලට බිලියන 3.5 ක පමණ ඩොලර් ප්‍රමාණයක් අවශ්‍ය බවයි.

බැංකුවලින් කාලයක් තිස්සේ කළේ, මහ බැංකුව විසින් මෑතකදී පෞද්ගලික අංශයෙන් ඉල්ලා සිටි පරිදි, ලෝකයට ණය වී ඩොලර් එකතු කරගෙන එම ඩොලර් රජයට ණය ලෙස දෙන එකයි. නමුත්, රජයට ණය දී තිබෙන්නේ ඩොලර් රුපියල් කිරීමෙන් පසුව නිසා ආපසු ලැබෙන්නේ රුපියල්. රුපියල්වලින් ණය ආපසු ලැබුණා කියා වාණිජ බැංකුවලට ඩොලර් ණය පියවන්න බැහැ. මේ වගේ වෙලාවක වාණිජ බැංකුවලට තිබෙන සාමාන්‍ය පිළියම මහ බැංකුවට රුපියල් දී ඩොලර්වලට මාරු කිරීමයි. ඒත් මේ වෙලාවේ මහ බැංකුව වාණිජ බැංකුවලට ඩොලර් දෙන්න සූදානම් නැහැ. තවත් ඩොලර් විකිණුවොත් මහ බැංකුව තමන්ගේම විදේශ බැරකම්වත් පියවිය නොහැකි තැනකට වැටෙනවා.

ඉහත තත්ත්වය යටතේ වාණිජ බැංකුවලට තමන්ගේම විදේශ බැරකම් පියවීම සඳහා වෙළඳපොළෙන් කීයට හෝ ඩොලර් මිල දී ගන්න සිදු වී තිබෙනවා. තමන්ට අවශ්‍ය ඩොලර් ටිකවත් හොයා ගන්න අමාරු තත්ත්වයක් යටතේ පාරිභෝගිකයින්ගේ ඩොලර් ඉල්ලුම සීමා කිරීම සඳහා ඩොලරයක විකිණුම් මිල ඉහළ දමන්න වෙනවා. ඩොලරයක මිල බලා ඉඳිද්දී ඉහළ යන පසුබිමක අපනයනකරුවන් වැනි ඩොලර් උපයන අය ඩොලර් රුපියල් කරන්න හදිස්සි නොවී ඩොලර් ලෙසම තියා ගන්න පෙළඹෙන නිසා බැංකුවලට මුහුණ දෙන්න වී තිබෙන ප්‍රශ්නය තවත් අසීරු වී තිබෙනවා. මේ තත්ත්වය යටතේ, මහ බැංකුව විසින් සංචිත නිදහස් කිරීමක් නොකළොත්, වාණිජ බැංකුවල ඩොලරයක මිල තවතවත් ඉහළ යන එක වලක්වන්න බැහැ.

මහ බැංකුව තවදුරටත් සංචිත නිදහස් කරයිද ? 

මෙය යම් තරමකින් දේශපාලනික ප්‍රශ්නයක්. මහ බැංකුවට මේ වෙද්දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 787 ක පමණ විදේශ වත්කම්ද, බංග්ලාදේශ බැංකුවෙන් ඩොලර් මිලියන 150 ක ණයක්ද ලැබී ඇති බව ප්‍රසිද්ධ කර තිබෙනවා. ඒ අනුව ඩොලර් මිලියන 937 කින් පමණ මහ බැංකුවේ විදේශ සංචිත ඉහළ ගොස් තිබිය යුතුයි. කෙසේ වුවද, මේ ලැබීම්වල තිබෙන ප්‍රශ්නය මහ බැංකුවේ විදේශ වත්කම් ඉහළ යන තරමටම විදේශ බැරකම්ද ඉහළ යන නිසා ශුද්ධ විදේශ වත්කම්වල වෙනසක් සිදු නොවීමයි. ඒ නිසා, යම් හෙයකින් මහ බැංකුව විසින් සංචිත විකිණීමක් කළහොත් රජය, වාණිජ බැංකු මෙන්ම මහ බැංකුවද ලෝකයට ණයකරුවෙක් බවට පත් වෙනවා.

මීට අමතරව චීන සංවර්ධන බැංකුවෙන්ද යම් මුදලක් ලැබීමට නියමිත බව පැවසෙනවා. එම මුදල ලැබුණොත්, එය රජයේ ණයක් නිසා, මහ බැංකුවේ බැරකම් ඉහළ යන්නේ නැහැ. මහ බැංකුවට අදාළ ඩොලර් ප්‍රමාණය මිල දී ගෙන වාණිජ බැංකුවලට විකිණිය හැකියි. හැබැයි එහෙම කළා කියලත්, හමන සුළන් මකුළු දැලෙන් වළකන්නට බැහැ.

ඉකොනොමැට්ටා