ගොවියන්ට, ගුරුවරුන්ට, සෞඛ්‍ය සේවකයන්ට ඇතුළු රටේ බහුතරයකට විවිධ ප්‍රශ්න තිබෙන නමුත් කොරෝනා වසංගතය ඒ සියලු ප්‍රශ්නවලට වඩා වැදගත් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා. මේ නිසා සියලු ප්‍රශ්න පසෙක තබා කොරෝනා වසංගතයෙන් ගැලවීම සඳහා සියලු දෙනා එක්ව කටයුතු කළයුතු බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

උද්ගෝෂණ කර, වැඩවර්ජන ක්‍රියාත්මක කර ඉල්ලීම් ලබා ගත්තද කොරෝනා වසංගතය යළි ව්‍යාප්ත වුවහොත් සියලු දෙනාම පරාජයට පත්වන බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ සියලු ගැටලු තිබියදී වසංගතය කළමනාකරණය කර ගැනීමට ආණ්ඩුව සමත්ව ඇති බවයි. ලොව ඉතා දියුණු රටවලටත් වඩා සාර්ථක ලෙස මෙරට තුළ එන්නත්කරණය සිදුවන බවත්, ජනතාව වගකීමෙන් කටයුතු කරන්නේ නම් වසංගතය ඉතා ඉක්මනින් අවසන් කළ හැකි බවත් පෙරේරා මහතා සඳහන් කරනවා.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, ගොවි ජනතාවට බලපා ඇති ප්‍රශ්න හේතුවෙන් ගමට යාගත නොහැකි යැයි ප්‍රකාශ කරන බව පෙන්වා දෙන ඩිලාන් පෙරේරා මහතා පවසන්නේ ඔහුගේ පාලන කාලය තුළදී ගොවියාට දැක්වූ සැළකිල්ල අද ඔහුට අමතක වී ඇති බවයි. එදා පැවති ආණ්ඩුව ගොවීන්ගෙන් වී මිලදී ගත්තේ රුපියල් 36 කට බවත්, අද වනවිට රුපියල් 50 ක සහතික මිලක් ගොවියාට ලබාදීමට ගෝඨාභය රාජපක්ෂ මහතාට හැකි වී ඇති බවත් මන්ත්‍රීවරයා පවසනවා.

ගෝඨාභය රාජපක්ෂ මහතා යනු කතාවෙන් නොව ක්‍රියාවෙන් වැඩ කරන පුද්ගලයෙකු බවත්, ජනාධිපති තනතුරට පත් වී පැය 48 ක් ඉක්ම යාමට මත්තෙන් රුපියල් 50 ක සහතික මිලක් වී ගොවියාට ලබා දුන්නෙ ඒ නිසා බවත් ඩිලාන් පෙරේරා මහතා පවසනවා.