කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් 40% ක් ඇමරිකානු සමාගමකට පැවරීමට අදාලව අත්සන් කළ ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවශ්‍ය නම් එය කැබිනට් මණ්ඩලයේදී හෝ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී සිදුකළ හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ වෙත ලිඛිතව දන්වා තිබෙනවා.

අදාල ගිවිසුම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් ලබා දෙන්නැයි ඉල්ලමින් හවුල්කාර පක්ෂ යොමුකළ ලිපියට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා මේ බව දැනුම් දී තිබේ.

ජනාධිපතිවරයා සිය ලිපියෙන් වැඩිදුරටත් පවසන්නේ ගිවිසුම සම්බන්ධයෙන් කරුණු දැන ගැනීමට අවශ්‍ය නම් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා හරහා හෝ විදුලිබල මණ්ඩලයේ නිළධාරීන් හරහා එය සිදුකළ හැකි බවත්, ඒ සම්බන්ධයෙන් තමන් නිළධාරීන්ට උපදෙස් ලබාදෙන බවත්ය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන තීන්දු තීරණ පිළිබඳව යම් ගැටලුවක් තිබේ නම් පක්ෂ නායක, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග හෝ පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සමග හෝ සාකච්ඡා කර එම ගැටලු විසඳා ගත හැකි බවද ජනාධිපතිවරයා දන්වා තිබෙනවා.