පසුගියදා ලුයිසියානා සහ මිසිසිපි වැනි ජනපද හරහා ඇදී ගිය අයිඩා කලාපීය සුළිසුළඟ නිව්යෝක් ජනපදයට ඇතුළු වී තිබේ.ඒ සමගම නිව්යෝක් නගරය තුළ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමට සිදුවී තිබේ.

නිව්යෝක් හි සෙන්ට්‍රල් පාක් ආශ්‍රිතව පැයක් ඇතුළත සෙන්ටිමීටර 8 ක් හෙවත් අඟල් 3 ක පමණ වර්ෂාපතයනක් ඇද හැළී ඇත.

නිව්ජර්සි ජනපදය තුළ ද හදිසි තත්වයක් ප්‍රකාශයට පත් වී ඇති අතර, එක් අයෙකු මරණයට පත් ව ඇති බව ද වාර්තා විය.

අයිඩා මේ වන විට උතුරු ඇමරිකානු මහද්වීපයේ නැගෙනහිර දෙසින් උතුරුකරයට හමා යමින් සිටින්නීය.

ලුයිසියානා තවමත් අඳුරේ
4 වන කාණ්ඩයේ කලාපීය සුළිසුළඟක් ලෙස ලුයිසියානා ජනපදය වෙත එය කඩා වැදුණේ පසුගිය ඉරිදා දිනයේ ය. එහිදී මිලියනයක් දෙනා විදුලිය විසන්ධි වීමට මුහුණ දුන් අතර, තවමත් ඇතැම් පෙදෙස්වල එය යථා තත්වයට පත් වී නැත.

දේශගුණික විපර්යාස මෙවැනි කලාපීය සුළි සුළංවලට බලපාන ආකාරය එක එල්ලේ සොයාගෙන නැතත්, සාගරය මතුපිට ජල මට්ටම උණුසුම් වීම හරහා අඩු වායු පීඩන කලාප ගොඩනැගීම සුළිසුළංවල උපත සටහන් කරයි.

මේ අනුව වායුගෝලය උණුසුම් වීම නමැති සාධකය බැහැර කළ හැකි නොවේ.

කාර්මික යුගය ආරම්භ වීමෙන් පසු මේ දක්වා පෘථිවි වායුගෝලය සෙල්සියස් අංශක 1.2 කින් රත් වී ඇත. සෙල්සියස් අංශකයකට පවා වායුගෝලය තුළ කළ හැකි පෙරළිය ඒ අනුව සිතාගත හැක.