ටෝකියේ පැරාලිම්පික් තරගාවලියේ පසුගිය 05 වැනිදා ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩාංගනයේදී නිමාවට පත්විය. පදක්කම් සටහනේ පෙරමුණ ගත් චීනයට රන් පදක්කම් 96 ක් හිමි වූ අතර මහා බ්‍රිතාන්‍යය රන් පදක්කම් 41 ක් හා ඇමරිකා එක්සත් ජනපදය රන් පදක්කම් 37 ක් දිනා ගත්තේය.

ඔලිම්පික් උළෙලේදී චීනය හා ඇමරිකාව අතර ද්වන්ද්ව සටනක් දක්නට ලැබුණු අතර ඇමරිකාව පළමු ස්ථානයට පත් වූයේ චීනයට වඩා එක් රන් පදක්කමක් දිනා ගනිමිනි. කෙසේ නමුත් පැරාලිම්පික් උළෙලේදී චීනයට කිසිදු රටකින් අභියෝගයක් එල්ල නොවිණි.

පැරාලිම්පික් තරගාවලියට සහභාගි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ශාරීරික දුබලතා තිබුණද හිතේ ධෛර්යය ශක්තිමත් බව කියාපාමින් ලෝක වාර්තා, රන්, රිදී, පදක්කම් හිමිකර ගනිමින් ටෝකියෝ නගරයෙන් පිටව යද්දී ඇතැමුන් සියරට බලා ගියේ පදක්කම්වලට වඩා වටිනා ජයග්‍රහණ අතැතිවයි.

මේ කියන්නේද එවැනි අසිරිමත් ජයග්‍රහණයක් පිළිබඳවයි.

පසුගිය 02 වැනිදා කාන්තා T11 කාණ්ඩයේ මීටර් 200 මූලික වටයේ තරග පැවැත්විණි. වර්ෂාව හේතුවෙන් පැරාලිම්පික් ධාවන පථය තෙතබරිත වී තිබූ අතර ඒ වනවිටත් වැහිපොද එකින් එක පතිතවෙමින් තිබිණි.

T11 යනු පෙනීමේ දුබලතා සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ තරග කාණ්ඩයයි. ඒ අනුව ඔවුන්ට තරගවැදීමට සිදුවන්නේ තවත් කෙනෙකුගේ සහාය සහිතවයි.

මීටර් 200 මූලික වටයේ සිව්වැනි තරගය සඳහා ක්‍රීඩිකාවන් සිව් දෙනෙකු තම සහායකයන් සමග ධාවන පථයට අවතීර්ණ විය. එම තරගය සඳහා බ්‍රසීලය, කැමරූන්, මහා බ්‍රිතාන්‍යය සහ කේප් වර්ඩ් යන රටවල ක්‍රීඩිකාවන් සහභාගි වූහ.

බ්‍රසීල ක්‍රීඩිකාව පළමු ස්ථානයට පත්වෙද්දී කේප් වර්ඩ් ක්‍රීඩිකාව අන්තිමයා ලෙස තරගය නිමා කළේය.

තරගය අවසන්වීමෙන් පසු ක්‍රීඩිකාවන්, ඔවුන්ගේ සහායකයන් ඇතුළු සියලු දෙනාම බලා සිටියේ තරගයේ නිළ ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කරන තෙක්ය.

සියලු දෙනා බලා සිටිද්දී බටහිර අප්‍රිකානු දූපත් රාජ්‍යයක් වන කේප් වර්ඩ් නියෝජනය කරමින් තරගයට සහභාගි වූ කෙවුලා නිඩ්‍රියා පෙරෙයිරා ක්‍රීඩිකාවගේ සහායකයා ලෙස කටයුතු කළ මැනුවෙන් ඇන්ටෝනියෝ, සිය ක්‍රීඩිකාව ඉදිරියේ දණගසා ගනිමින් මංගල යෝජනාවක් ඉදිරිපත් කළේ තරගයට සහභාගි වූ අනෙකුත් ක්‍රීඩිකාවන් සහ ඔවුන්ගේ සහායකයන් අත්පොලසන් දෙමින් සතුට පළ කරද්දීය.

නිඩ්‍රියා පෙරෙයිරා තරගයේ අන්තිමයා වුවද ඇයට එම තරගය සිය ජීවිතයේ ඉතා වටිනාම හා වැදගත්ම තරගය වනු ඇත.