පසුගිය පෙබරවාරි 24 වෙනිදා රුසියානු ජනපති ව්ලැඩ්මියර් පුටින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් තමන් යුක්රේනය වෙත විශේෂ හමුදා මෙහෙයුමක් දියත් කිරීමට තීරණය කළ බව පැවසීමෙන් හරියටම පැයකට පසු පළමු මිසයිල ප්‍රහාරය යුකරේනයේ අගනුවර වූ කිව්වෙත එල්ල කරනු ලැබිණි. ඒ මොහොතේ ක්‍රියාත්මක වූ යුක්රේන ජනපති කියා සිටියේ “ඔබ අපි සමග යුධ කරන්නට සූදානම් නම් අපි ඔබට අපේ මුහුණ මිස අපේ පසුපස පෙන්වීමට කිසිදු අපේක්ෂාවක් නැත” යනුවෙනි.

රුසියාව වැනි බලවත් රටකට මෙලෙස අභියෝග කරන මේ මිනිසා 44 හැවිරිදි වොලඩිමිර් සෙලෙන්ස්කි ය. මහාචාර්ය පියෙකුට සහ ඉංජිනේරු මවකට දාව උපන් ඔහු, දෙවැනි ලෝක යුද්ධයේ දී රතු හමුදාවේ සේවය කළ අති දක්ෂ මෝටර් රයිෆල් නිලධාරියෙකුගේ මුණුබුරෙක් ද වේ.

නීතිවේදී උපාධිධාරියෙකු වුවද නීති ක්ෂේත්‍රයේ සේවය කිරීමට අකමැති වූ සෙලෙන්ස්කි වයස අවුරුදු 16 දී විකට රංගන ශිල්පී තරගයකට ඉදිරිපත් වී එහි ශූරතාව දිනාගනු ලැබිණි. ඉන් අනතුරුව විකට රංගන ශිල්පියෙකු ලෙස වැඩසටහන් පැවැත්වීම ආරම්භ කිරීමත් සමග ඔහු යුක්රේනයේ පමණක් නොව සෝවියට් රටවල ද ජනප්‍රිය චරිතයක් බවට පත්විය.

රූපවාහිනී ආයතන කීපයකම ඔහුගේ නිෂ්පාදනයෙන් බිහි වූ විකට වැඩසටහන් රැසක් අතිශය ජනප්‍රිය විය. පසු කාලයේ ඔහු විසින් ආරම්භ කරනු ලැබූ රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදන ආයතනය ඔහු වෙත දිගින් දිගටම ධනය ගලා එන්නට හේතු විය.

2018 වසරේ දී හිටපු යුක්රේන ජනපති බලයෙන් පහ කිරීමේ දැවැන්ත ව්‍යාපාරයට සෙලෙන්ස්කි එක් වූයේ මාස හතරකට පෙරදී ය. 2018 මාර්තු 31 දින පැවති ජනපතිවරණ පළමු වටයෙන් ජයග්‍රහණය කළ ඔහු 2019 අප්‍රෙල් 21 දින පැවති දෙවැනි මැතිවරණයෙන් ද සියයට 70 ක විශිෂ්ඨ ජයක් අත් කරගනිමින් යුක්රේනයේ ජනාධිපති ලෙස තේරී පත් විය.

ඔහුගේ මැතිවරණ පොරොන්දු අතර සුවිශේෂීම පොරොන්දුව වූයේ තමන් එක් වතාවකට වඩා මැතිවරණයට ඉදිරිපත් වී යුක්රේන වැසියන්ගේ ගර්හාවට ලක් වීමට කිසිදු අදහසක් නැති බව ය. එසේ වුව ද සමහර යුක්රේන වැසියන් ප්‍රසිද්ධියේ ම ඔහුගෙන් අසා සිටියේ “විකට නළුවෙකුට රටක් කරන්න පුළුවන් ද?” යනුවෙනි.

පාසල් කාලයේ එකම පන්තියේ සිටි හො‍දම මිතුරිය මෙන්ම පළමු සහ එකම පෙම්වතිය වූ සුරූපී ඔලෙනා කියෂ්කෝ සමග ඔහු 2003 දී විවාහ විය. ගෘහ නිර්මාණ ශිල්පය පිළිබද උපාධිධාරිණියන වුව ද වෘත්තියෙන් චිත්‍රපට තිර රචිකාවක වන ඇය 2019 වසරේ ලෝක ප්‍රකට ෆෝකස් සගරාව විසින් සිදුකරනු ලැබූ සමීක්ෂණයකට අනුව යුක්රේනයේ බලවත්ම පුද්ගලයින් 100 දෙනා අතරින් 30 වැනි ස්ථානයට පත් ව සිටින්නීය.

යුක්රේන දරුවන්ගේ පෝෂණය පිළිබද ඕනෑවටත් වඩා උනන්දු වන ඇය වයස අවුරුදු 16 ට අඩු දරුවන්ගේ පෝෂණ තත්වය නගා සිටුවීම සදහා සුදුසු සාම්ප්‍රදායික යුක්රේන ආහාරවලින් සුසැදි පෝෂණ ආහාර වට්ටෝරු 160 ක් හදුන්වා දුන්නාය. ඒ ළමා රෝග සහ පෝෂණය පිළිබද වෘත්තියවේදීන් 12 දෙනෙකුගේ කමිටුවක විශේෂඥ උපදෙස්වලට අනුව ය.

2021 සැප්තැම්බර් පළමු වෙනි දින සිට එය යුක්රේනයේ පාසල් ආපන ශාලා සදහා හදුන්වා දීමේ චක්‍රලේඛය නිකුත් වනතුරුම ඇය ඒ වෙනුවෙන් සිය ශ්‍රමය සහ කාලය කැප කළා ය. පළමු කඩ ඉම ජයගැනීමෙන් පසු ඇය මේ වනවිට යුක්රේනයේ පිරිමි සහ කාන්තා කම්කරු වෘත්තිකයන් වෙනුවෙන් සම අයිතීන් සහ සම වැටුප් ඉල්ලා අරගල කිරීමේ ව්‍යාපාර සදහා දායකත්වය ලබා දෙමින් සිටින්නීය.

සෙලෙන්ස්කි යුවල මේ වනවිට 18 හැවිරිදි දියණියකගේ සහ 9 හැවිරිදි පුතෙකුගේ දෙමාපියෝ වෙති.. පියා මෙන්ම විකට රංගනයට දක්ෂතා දක්වන දියණිය මේ වනවිට සම්භාව්‍ය මට්ටමේ චිත්‍රපට සහ වේදිකා නාට්‍ය කීපයකම ප්‍රධාන චරිතය සමග කලාකාමී යුක්රේන වැසියන්ගේ හදවත් දිනා සිටින්නීය. 2016 වසරේ ඇය කොමඩි කිඩ්ස් නම් වැඩසටහනට සහභාගි වී Hryvnias 50,000 මුදල් ත්‍යාගයක් ද දිනා ගත්තාය.

ජනපති සෙලෙන්ස්කි අද වනවිට ලෝක බලවතා ව සිටින ඇමෙරිකානු ජනපතිවරයාට පවා අභියෝග කළ චරිතයක් බවට පත්ව සිටී. රුසියානු යුක්රේන යුද්ධය අතරතුර ඇමෙරිකානු ජනපති ජෝ බයිඩ්න් සෙලෙන්ස්කි අමතා ඔහු සහ පවුලේ අය නිරුපද්‍රිතව ඇමෙරිකාවට ගෙන්වා ගැනීමට කැමැත්ත ප්‍රකාශ කළ අවස්ථාවේ සෙලෙන්ස්කි කියා තිබුණේ ” මට මේ වෙලාවෙ ඕනෙ කරන්නේ ඇමෙරිකානු සංචාරයක් නෙවෙයි, මේ පවතින යුද්ධයට උදව්වක් විතරයි” යනුවෙනි.

ඒ කෙසේ හෝ ඔහු අදවන විට ලෝක දේශපාලන කරලියේ ප්‍රසාදනීය චරිතයක් වී ඇත්තේ ඔහු දේශපාලනමය වශයෙන් විකට නළුවකු නොවූ බැවිනි.

දුලංජලී මුතුවාඩිගේ